FOD logo

අනුස්මරණ බිත්තිය

  • English
  • සිංහල
  • தமிழ்

සුනිල් පෙරේරා

අතුරුදහන් දිනය 14/08/1989 අතුරුදහන් ස්ථානය පමුණුව, මහරගම

පියල් පුෂ්ප කුමාර

අතුරුදහන් දිනය 20/11/1989 අතුරුදහන් ස්ථානය කළුතර, පයාගල නිවසේ දි

ඩබ්. ජයමාන්න

අතුරුදහන් දිනය 19/08/1989 අතුරුදහන් ස්ථානය මාලබේ, කහන්තොට නිවසේ දි

යු. පී. විමලනාථ

අතුරුදහන් දිනය 15/12/1989 අතුරුදහන් ස්ථානය මීරිගම, බොරුක්ගමුව නිවසේ දී

S. H. විමල්සිරි සහ S. H. වසන්ත

අතුරුදහන් දිනය 27/07/1989 අතුරුදහන් ස්ථානය මාතර, දික්වැල්ලේ දි

නිමල් පත්මසිරි

අතුරුදහන් දිනය 19/01/1990 අතුරුදහන් ස්ථානය නුවර

සංජීව දීපාල්

අතුරුදහන් දිනය 18/12/1989 අතුරුදහන් ස්ථානය වේයන්ගොඩ නිවසේ දී

බර්නාදූල්ගේ තුසිත

අතුරුදහන් දිනය 23/09/1989 අතුරුදහන් ස්ථානය වනාතමුල්ල

W.P. රංජිත් විජේරත්න

අතුරුදහන් දිනය 12/12/1989 අතුරුදහන් ස්ථානය කොළඹ පොලීසියක දී

W. P. ලලිත් විජේරත්න

අතුරුදහන් දිනය 12/12/1989 අතුරුදහන් ස්ථානය කොළඹ පොලීසියක දී

සුගත් වීරසිංහ සහ ප්‍රදීප් කුමාර වීරසිංහ

අතුරුදහන් දිනය 19/09/1989 අතුරුදහන් ස්ථානය වේයන්ගොගොඩ බණ්ඩාරනායක මාවතේ නිවසේ දී

වන්නිඅරච්චිගේ දොන් අජිත් ලක්ෂ්මන්

අතුරුදහන් දිනය 21/10/1989 අතුරුදහන් ස්ථානය හල්පේ, පතඟිගොඩැල්ල පල්ලියේ දී

කුසුම්සිරි ද සිල්වා

අතුරුදහන් දිනය 11/11/1989 අතුරුදහන් ස්ථානය ජා ඇල නිවසේ දි

අනුර ප්‍රියදර්ශන

අතුරුදහන් දිනය 19/11/1989 අතුරුදහන් ස්ථානය වේයන්ගොඩ මගලේගොඩ නිවසේ දී

මයිකල් එඩ්වඩ්

අතුරුදහන් දිනය 04/09/1989 අතුරුදහන් ස්ථානය R.B 18 - මාලිගාවත්ත නිවසේ දි

ලාල් ප්‍රසන්ත

අතුරුදහන් දිනය 08/08/1989 අතුරුදහන් ස්ථානය දික්වැල්ල

ජයරත්න සේනානායක

අතුරුදහන් දිනය 20/11/1989 අතුරුදහන් ස්ථානය පේරාදෙණිය පොලීසිය අසල මහපාරේ දී

ජමාල්ඩීන් ඩිලාන්

අතුරුදහන් දිනය 17/09/2008 අතුරුදහන් ස්ථානය මුබාරක් අන්වර් අලීගේ දෙහිවල නිවසේ දී

ශාන්ත කුමාර

අතුරුදහන් දිනය 13/11/1990 අතුරුදහන් ස්ථානය නුවර පොලිස් ස්ථානයේ දී

සුනිල් ජයලත්

අතුරුදහන් දිනය 13/01/1990 අතුරුදහන් ස්ථානය ගෙලිඔය ගොඩපොල නිවසේ දී

මාරසිංහ ආරච්චිලාගේ රුක්ශාන්ත

අතුරුදහන් දිනය 05/09/1989 අතුරුදහන් ස්ථානය මට්ටක්කුලිය නිවසේ දි

ගාමිණී සුගතසිරි

අතුරුදහන් දිනය 28/10/1989 අතුරුදහන් ස්ථානය හුණුමුල්ල හමුදා කඳවුරේ දී

ධර්මසිරි ප්‍රසන්ත

අතුරුදහන් දිනය 08/08/1989 අතුරුදහන් ස්ථානය කෝට්ටේගොඩ පන්සල

ජානක සමන් කුමාර

අතුරුදහන් දිනය 19/11/1989 අතුරුදහන් ස්ථානය පන්විල නිවසේ දී

වසන්ත ගාමිණී අබේවික්‍රම

අතුරුදහන් දිනය 19/09/1989 අතුරුදහන් ස්ථානය වාවින්න නිවසේ දී

කපිල බන්දුල

අතුරුදහන් දිනය 17/09/1989 අතුරුදහන් ස්ථානය මහරගම, විජේරාමේ දී

සුදත් ප්‍රසන්ත

අතුරුදහන් දිනය 06/08/1989 අතුරුදහන් ස්ථානය මාතර, දික්වැල්ලේ දි

සමන්ත කල්‍යාණ

අතුරුදහන් දිනය 09/10/1989 අතුරුදහන් ස්ථානය දිවුලපිටිය පොලීසියේ දී

ලිච්චොවී නිශාන්ත වීරසිංහ

අතුරුදහන් දිනය 16/11/1989 අතුරුදහන් ස්ථානය වත්තේගම මද්දුමබණ්ඩාර මධ්‍ය මහා විද්‍යාලය අසල දී

බී. හේමන්ත අජිත් චන්ද්‍රසිරි

අතුරුදහන් දිනය 12/10/1989 අතුරුදහන් ස්ථානය හොරගල්මුල්ල නිවසේ දී

චමින්ද ලක්ෂ්මන් සේනානායක

අතුරුදහන් දිනය 16/12/1989 අතුරුදහන් ස්ථානය පූගොඩ මාමාගේ නිවසේ දී

ගිරඹේ ගෙදර සමරසිංහ

අතුරුදහන් දිනය 09/10/1989 අතුරුදහන් ස්ථානය පල්ලෙකැලේ හමුදා කඳවුරේ දී

චන්දිම හිමි (චමින්ද ශ්‍රීනාත් වීරසිංහ)

අතුරුදහන් දිනය 19/11/1989 අතුරුදහන් ස්ථානය පන්විල නිවසේ දී

Sorry! No result to display.

පිටවන්න

ලාල් ප්‍රසන්ත

අතුරුදහන් දිනය 08/08/1989
අතුරුදහන් ස්ථානය දික්වැල්ල

මගේ පවුලේ මමයි මගේ මහත්තයයි දරුවන් හතර දෙනයි.වැඩිමල්ම දරුවා සුදත් ප්‍රසන්ත.හැමදාම උදේට ලමයි මූදට යන්න යනවා,ඊට කලින් අපේ අම්මලාගේ ගෙදරට යනවා පුරුද්දක් විදිහට.එතනදි තමයි හමුදාවෙන් අල්ලන් තියෙන්නේ.මට ආරංචියක් ආවා පුතාට කරදරයක් කියලා මම මාතර දික්වැල්ල පැත්තට දුවගෙන ගියා.එතනදි මට මිනිස්සු කියුවා මගේ පුතාට හොදටම ගහලා පොල්ලක බැදලා ඇරගෙන ගියයි කියලා.1989.08.06.හමුදාවේ කන්ඩායමක් විසින් මගේ පුතාව උදේ 8ට විතර වැටලීමක් මගින් අතඩංගුවට අරගත්තා.අදවෙනකන් වත් පුතා ගෙදර ආවේ නෑ.පුතාගේ තත්තයි මමයි හොයන්න පුලුවන් හැම තැනකම හෙව්වා.ඒත් හමබවුණේ නෑ.

පොලීසියට පැමිණිලි කරා,කොමිසම් ගානේ කියා ඒත් වැඩක් නෑ.බූස්ස,අනුරාධපුර,මාතලේ,නුවර,හම්බන්තොට,රත්නපුර මේ හැම තැනකම තිබුණ හමුදා කදවුරු වල අපි ගිහින් බැලුවා ඒත් පුතා හිටියේ නෑ.
ඊට ටික දවසකට පස්සේ ධර්මසිරි මගේ දෙවෙනි පුතා,කෝට්ටේගොඩ පන්සලට ගියා බෝධිපූජාවක් තියන්න.මම පුතාට කියුවා මම එන්නම් ඔයා යන්න ‘’මද්දු’’ කියලා.මද්දු කියලා තමා අපි ගෙදරට කියන්නේ.මම පන්සලට යනකොට හාමුදුරුවෝ කියුවා එන්න එපා පන්සලේ වැටලීමක් කියලා.මගේ දෙවෙනි පුතාත් හමුදාවෙන් අරන් ගියා.අදටත් නෑ.

පහුවෙනිදා උදේම්ම මම බස් ඒකේ පිටත් වුණා දික්වැල්ලේ පොලීසියට යන්න.බස් එක මගක් දුරකට යනකොට ගොඩඋඩ ස්කෝලේ හරියෙදි හමුදාවෙන් නතර කරා.අපිව බැස්සුවා.බස් එකට යන්න කියුවා.මාත් එක්ක කිහිපදෙනෙක් ආවා පොලිසියට පැමිණිල්ලක් දාන්න.ඒත් අපිව බාරගත්තේ නෑ.මම ගෙදරට ආපහු එනකොට තුන්වෙනි පුතා ලාල් ප්‍රසන්තත් මරලා අරගෙන ගියා කියුවා.ඒක කියුවේ බයට කිතුල් ගහක නැගපු මනුස්සයෙක්.

මව සුමනාවතී.

සුදත් ප්‍රසන්ත

අතුරුදහන් දිනය 06/08/1989
අතුරුදහන් ස්ථානය මාතර, දික්වැල්ලේ දි

මගේ පවුලේ මමයි මගේ මහත්තයයි දරුවන් හතර දෙනයි.වැඩිමල්ම දරුවා සුදත් ප්‍රසන්ත.හැමදාම උදේට ලමයි මූදට යන්න යනවා,ඊට කලින් අපේ අම්මලාගේ ගෙදරට යනවා පුරුද්දක් විදිහට.එතනදි තමයි හමුදාවෙන් අල්ලන් තියෙන්නේ.මට ආරංචියක් ආවා පුතාට කරදරයක් කියලා මම මාතර දික්වැල්ල පැත්තට දුවගෙන ගියා.එතනදි මට මිනිස්සු කියුවා මගේ පුතාට හොදටම ගහලා පොල්ලක බැදලා ඇරගෙන ගියයි කියලා.1989.08.06.හමුදාවේ කන්ඩායමක් විසින් මගේ පුතාව උදේ 8ට විතර වැටලීමක් මගින් අතඩංගුවට අරගත්තා.අදවෙනකන් වත් පුතා ගෙදර ආවේ නෑ.පුතාගේ තත්තයි මමයි හොයන්න පුලුවන් හැම තැනකම හෙව්වා.ඒත් හමබවුණේ නෑ.

පොලීසියට පැමිණිලි කරා,කොමිසම් ගානේ කියා ඒත් වැඩක් නෑ.බූස්ස,අනුරාධපුර,මාතලේ,නුවර,හම්බන්තොට,රත්නපුර මේ හැම තැනකම තිබුණ හමුදා කදවුරු වල අපි ගිහින් බැලුවා ඒත් පුතා හිටියේ නෑ.
ඊට ටික දවසකට පස්සේ ධර්මසිරි මගේ දෙවෙනි පුතා,කෝට්ටේගොඩ පන්සලට ගියා බෝධිපූජාවක් තියන්න.මම පුතාට කියුවා මම එන්නම් ඔයා යන්න ‘’මද්දු’’ කියලා.මද්දු කියලා තමා අපි ගෙදරට කියන්නේ.මම පන්සලට යනකොට හාමුදුරුවෝ කියුවා එන්න එපා පන්සලේ වැටලීමක් කියලා.මගේ දෙවෙනි පුතාත් හමුදාවෙන් අරන් ගියා.අදටත් නෑ.

පහුවෙනිදා උදේම්ම මම බස් ඒකේ පිටත් වුණා දික්වැල්ලේ පොලීසියට යන්න.බස් එක මගක් දුරකට යනකොට ගොඩඋඩ ස්කෝලේ හරියෙදි හමුදාවෙන් නතර කරා.අපිව බැස්සුවා.බස් එකට යන්න කියුවා.මාත් එක්ක කිහිපදෙනෙක් ආවා පොලිසියට පැමිණිල්ලක් දාන්න.ඒත් අපිව බාරගත්තේ නෑ.මම ගෙදරට ආපහු එනකොට තුන්වෙනි පුතා ලාල් ප්‍රසන්තත් මරලා අරගෙන ගියා කියුවා.ඒක කියුවේ බයට කිතුල් ගහක නැගපු මනුස්සයෙක්.

මව සුමනාවතී.

බර්නාදූල්ගේ තුසිත

අතුරුදහන් දිනය 23/09/1989
අතුරුදහන් ස්ථානය වනාතමුල්ල

ගාමිණී සුගතසිරි

අතුරුදහන් දිනය 28/10/1989
අතුරුදහන් ස්ථානය හුණුමුල්ල හමුදා කඳවුරේ දී

මගේ පුතා ගාමිණී විදුලි කාර්මික වැඩවලට හරිම ආසයි සහ ඔහුගෙ හීනය උනේ කවදා හරි විදුලි කාර්මිකයෙකු වෙන්නයි. අධ්‍යාපනය ලබද්දිත් ඔහු අර්ධ කාලීන විදුලි කාර්මිකයෙකු ලෙස වැඩ කලා.
1989 දී ඔහුගෙ වයස අවුරුදු 21 යි. 1989 ඔක්තෝබර් 28 වනදා, පුතාගෙ මිතුරෙකු සමග ගෙදර එමින් සිටියදී තමයි මේ දේ සිදුවුනේ.
එදා දවල් 12ට පමන හමුදාවේ සහ පොලීසියේ පිරිසක් අපේ ගෙදර සිට මීටර් 500 ක් පමණ ඈතින් පාර අවහිර කරලා තිබුණා. මේ ආරංචිය සමගම අපි එතැනට ගියා. එතැන යම් සෙනගකුත් හිටියා. ඒ හමුදා, පොලිස් පිරිස මූණවල් වහගෙන හිටපු නිසා ඔවුන්ව අඳුනගන්න බෑ.
මගේ පුතත් තවත් ළමයින් කීපදෙනෙකුවත් ඇස් බැඳලා ළඟ තිබුණ ගස්වල, ලාම්පු කණුවල ගැටගහල තිබුණා. අපේ දරුවා ළඟට යන්න අපිට ඉඩ දුන්නේ නෑ. ළඟට ආවොත් වෙඩි තියනව කියලා කිව්වා. මගේ දරුවත්, තවත් තුන්දෙනෙකුවත් වාහනයකට පටවගෙන ඒ අය යන්න පිටත් වුණා. අපිත් වෙන වාහනයක, ඒ පස්සෙන්ම ගියා. අපේ දරුවා මරලතෝනි දෙනවා අපිට ඇහුණා. එක පාරටම ඒ වාහනය නවත්වලා, අපේ දරුවව ඇදල අරගෙන, ලඟ ගහකින් අත්තක් කඩාගෙන දරුවට හොඳටම ගැහුවා. ඊට පස්සෙ අපේ දරුවාව වෙන වාහනයක දාගෙන යන්න ගියා. අපිත් පස්සෙන්ම ගියා. ඒ වාහනය හුණුමුල්ල හමුදා කඳවුර ඇතුලටයි ගියේ. අපිට ඇතුල්වෙන්න දුන්නේ නෑ. කඳවුරේ ගේට්ටුවේ මුරට හිටපු අයට අපි වැන්දෙ නැති ටික විතරයි දරුවාව ඉල්ලලා. අපිට තුවක්කු එල්ල කරලා වහාම එතැනින් යන්න කියලා අපිව එලෙව්වා.
එදායින් පස්සෙ අපේ දරුවව කවදාවත් අපි දැක්කෙ නෑ.
අපි ඒ ගමන්ම පොලීසියට ගියා හැබැයි අපේ පැමිණිල්ල නම් බාරගත්තෙ නෑ, එතැන හිටපු හමුදා නිලධාරීන් දෙන්නෙක්, අපේ පැමිණිල්ල බාරගන්න එපා කිව්ව නිසා. අපි ඒ දෙන්න ඉදිරිපිට දණින් වැටිලා වැඳවැටුණා අපේ දරුවාව දෙන්න කියලා. ඒ එක්කෙනෙක් ඇහුවා ""උඹල දරුවො හැදුවේ, JVP එකට දෙන්නද"" කියලා, මට පයිනුත් ගහන්න ගියා. පොලීසියයි, හමුදාවේ අයයි ඔක්කොම කිව්වෙ අපේ දරුව, JVP කියලයි. අපි නම් තවමත් කියන්නෙ අපේ දරුව JVP නෙමේ කියලමයි.
ඊට පස්සෙ කවදාවත් අපි ඒ පොලීසියට නම් ගියේ නෑ, දරුව ගැන අහන්න. අපි රතු කුරුසෙට, පොලිස්පතිට සහ හමුදාපතිටත් පැමිණිලි කලා. අපේ දරුවාව හොයා ගෙන පොලීසි සහ හමුදා කඳවුරු ගණනාවකට ගියා. දරුවා ගැන කිසිඳු තොරතුරක් ලැබුණේ නම් නෑ.
ජනාධිපති කොමිසමට පැමිණිලි කරාට පස්සේ, මරණ සහතිකයයි, රුපියල් 25,000 කුයි ලැබුණා. මරණ සහතිකේ මරණයට හේතුව හැටියට තිබුණේ, ""අතුරුදහන් වී වසරකට වැඩි නිසා මියගියා යැයි සැක කරමි"" යනුවෙනුයි.
අපිට මාසිකව රුපියල් පන්සීයක දීමනාවක් ගෙව්වත්, එදා බලයෙ හිටපු UNP ආණ්ඩුව නැවත 2001දී බලයට ආවට පසු, ඒකත් නැවැත්තුවා.
මේ සිද්ධිවලින් කාලෙකට පස්සෙ අපිව හොයාගෙන ආපු, අපේ පැත්තෙම හිටපු හාමුදුරුනමක් කිව්වා, එතුමාවත් හමුදාවෙන් පැහැරගෙන ගෙනිහිල්ලා, බඩල්ගම පාලම උඩට නංවලා, තවත් අයත් හිටිය කිව්වා, ඔක්කෝටම වෙඩි තිබ්බලු. හාමුදුරුවෝ ගඟට පැනපු නිසා බේරුනාලු. ඒ ගොඩේ මගෙ පුතත් හිටියලු. හාමුදුරුවො එයාව අඳුනගත්තලු. එයා ස්ථීරෙන්ම කිව්වා අපේ පුතාට වෙඩිතියල ගඟට දැම්ම කියලා. හැබැයි ඒ කථාව අපිට විශ්වාස කරන්න බෑ. අපි දරුවාව හොයන එක අතඇරියේ නෑ.
දිවුලපිටිය සමූහ මිනීවල සම්බන්ධව උසාවියේ නඩු ඇහෙන්න පටන් ගත්තම අපිටත් කැඳවීමක් ලැබුණා. චූදිතයෝ වුණේ, පොලිස් OIC නිමල් ප්‍රනාන්දු, SP කුඩාහෙට්ටි, ආමි මේජර් ඩීන්, ඇමති ආරියරත්න ජයතිලක සහ තවත් කිහිපදෙනෙක්. නීතිපතිගේ උපදෙස් මත විමල් ප්‍රනාන්දු හැර අනෙක් සැම දෙනාවම නිදහස් කෙරුණා. මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක නියෝගය මත පදනම්ව මේ නඩුව පැවරීමට බොහෝ මහන්සි වුනු නඩුකාර මහත්මයවත් මාරු කලා. මහාධිකරණයේ නඩුව කැඳෙව්වත් අපි යන්න උනන්දු වුණේ නෑ, UNP හිතවතුන්ගෙන් කරදර සිදුවෙයි කියලා හිතලා.
මගේ ස්වාමිපුරුෂයා විරුද්ධ පක්ෂය වන SLFP එකේ ප්‍රබල හිතවතෙක් නිසා, අපේ පලාතේ UNP සංවිධායකවරයෙකුගේ ඉල්ලීම මත, ඇමති විජේපාල මෙන්ඩිස්, අපේ පුතාව අතුරුදහන් කරවන්න පොලීසියට උපදෙස් දෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ.

ප්‍රකාශය - ගාමිණී සුගතසිරිගේ මව M. P. ලීලාවතී

චන්දිම හිමි (චමින්ද ශ්‍රීනාත් වීරසිංහ)

අතුරුදහන් දිනය 19/11/1989
අතුරුදහන් ස්ථානය පන්විල නිවසේ දී

ජානක සමන් කුමාර සහ චන්දිම හිමි (චමින්ද ශ්‍රීනාත් වීරසිංහ)
මට දරුවො දෙන්නෙක් හිටියා. වැඩිමලා ජානක සමන් කුමාර සහ බාලයා චමින්ද ශ්‍රීනාත්. චමින්ද පැවිදි බව ලැබූ නිසා ඔහුව ඇමතුවෙ චන්දිම හාමුදුරුවෝ කියලයි. අපේ පන්විල ගෙදරින් ඔවුන්ව පැහැරගෙන යද්දි ඔවුන්ගේ වයස පිලිවෙලින් 18 සහ 17.
1989 නොවැම්බර්19 වෙනිදා, රෑ 11 ට විතර අපි පොලීසියෙන් යැයි කියමින් දෙන්නෙක් අපේ ගෙදර දොරට තට්ටු කලා. දොර ඇරපුවාමයි අපි දැක්කෙ එතැන කට්ටියක් ඉන්න බව. ඔවුන් අපේ නිවසට කඩා වැදිලා, පුතාලා දෙන්නව අල්ලගෙන වාහනයක දාගෙන ගියා. අපිට ගෙයින් එලියට එන්න දුන්නේ නෑ.
මිනිත්තු කීපයකට පසු අපිට වෙඩි සද්ද කීපයක් ඇහුණා.
මගේ දරුවො දෙන්නට වෙඩි තිබ්බද කියල බයකුත් ඇති වුණා.
පසුව ආරංචි වුණා, අපේ අසල්වැසියෙකුගේ ගෙදර ළඟ, මගෙ දරුවො දෙන්නව දණගස්වලා, ඔවුන්ගෙ යාලුවන්ගේ නම් කියන්න කියලා බල කරලා තියෙනවා.
එදා රෑ අපේ ගමෙන් තව පස්දෙනෙක් අරගෙන ගිහින් තිබුණා. ටික කාලයකට පසු, ඒ ගෙනගිය අයගෙන් දෙදෙනෙක් ආපහු ගමට ආවා.
මේ පැහැර ගැනීමෙන් දවස් 10 කට විතර පස්සේ, හිස නැති මලසිරුරක් අපේ කඩේ ලඟ දාල තිබුණා. ඒ පුද්ගලයට දවස් 7 ක පමණ පොඩි දුවක් හිටියා. අපේ ගමේ මේ විදියට තව කීපදෙනෙක් ඉතා කුරිරු ලෙස මරා දාල තිබුණා. සමහරු කිව්වේ ඒවා JVP එකේ වැඩ කියලයි.
මම පන්විල පොලීසියට සහ හමුදා කඳවුරු බලන්න කිහිප වතාවක් ගියා. 1990 දී පොලීසිය මගේ පැමිණිල්ල සටහන් කරගත්තා. නමුත් පුතා ගැන කිසිදු තොරතුරක් හම්බවුණේ නම් නෑ.
මේ පැහැර ගැනීම සිදුවීමට දවස් කීපයකට පෙර ජානක, බස් කොන්දොස්තර කෙනෙක් එක්ක පැටලිලා, ඒ කොන්දොස්තර ජනකට තර්ජනය කරල තියෙනව ""උඹ ජීවත් වෙන්නෙ තව දවස් තුනයි"" කියලා.
මේ සිද්ධිය නිසා මට හිතුන මගේ දරුවන් අරන් ගියේ JVP එකෙන්ද කියලත්. ඒ කාලෙ ඒ වගේ දේවලුත් සිදුවුණ නිසා.
අනිත් පැත්තෙන්, එකවර දරුවො හත්දෙනෙක් ජීප් එකක දාල අරන් ගිය නිසා ආණ්ඩුවේ හමුදාවන් කෙරුවද කියලත් හිතුණා.
මම තවම හරියටම දන්නෙ නෑ, මගේ දරුවො තවම ඉන්නවද, නැද්ද කියලා. ආණ්ඩුව මට රුපියල් 30,000ක් සහ මරණ සහතික දුන්නා. මම ඒ මුදල හාමුදුරුවෝ කෙනෙක්ට පරිත්‍යාග කලා.
මගේ දරුවන්ට සිදුවුන දේ නොදැන මේ රටේ තවත් ජීවත් විය යුතුද?

ප්‍රකාශය - ජානක සමන් කුමාර සහ චන්දිම ස්වාමීන් වහන්සේගේ මව අශෝකා වීරසිංහ

ජයරත්න සේනානායක

අතුරුදහන් දිනය 20/11/1989
අතුරුදහන් ස්ථානය පේරාදෙණිය පොලීසිය අසල මහපාරේ දී

ජයරත්න සේනානායක කියන්නේ මගේ මහත්තයා. එයයි මමයි එකම ගමේ. අපි දෙන්නාගේම ගෙවල් එක ළග තිබුණ නිසා අපි හුඟාක් හිතවත් වුණා. ඒ නිසාම අපි පෙම්වතුන් වෙලා කසාද බැන්දා. අපි ලස්සනට ජීවත් වුණා. විවාහයෙන් අපි දෙන්නට පුතෙකුයි දුවෙකුයි හිටියා. මගේ මහත්තයා රැකියාව කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ හන්දම මැණික්හින්න ප්‍රදේශයේන් අපිට පේරදෙණියට එන්න වුණා. මහත්තයාගේ රැකියාව නිසා නිල නිවාසයක් අපිට ලැබුණා.
එක දවසක් පේරාදෙණිය පොලීසියෙන් අපේ ගෙදරට ආවා. එයාලා කිව්වා මගේ මහත්තයා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධයි ඒනිසයි හොයන්නේ කියලා. ඒ වෙලාවේ මහත්තයා ගෙදර හිටියේ නැහැ. එහෙම කියලා පොලිසියේ අය යන්න ගියා. හවස මහත්තයා ආවට පස්සේ මම මේගැන එයාට කිව්වා. ඊට දවසකට පස්සේ එයා පේරාදෙණිය පොලිසියට ගියා. එදා මගේ මහත්තයා පේරාදෙණිය පොලිසියට ගියත් ආපහු එව්වේ නැහැ. මම ගියා පේරාදෙණිය පොලිසියට. එතනදි පොලිසියේ නිලධාරින් කිව්වා මගේ මහත්තයව එළියට දාන්න බැහැ කියලා. කැම එක ගේන්න විතරක් අවසරයක් මට දුන්නා. කතා කරන්නවත් දුන්නේ නැහැ හරියට. එයා පොලිස් අත්අඩංගුවේ දවස් 19ක් හිටියා. විසිවෙනි දවසේ මහත්තයව නිදහස් කරනවා කිව්ව හින්දා මම පොලිසියට ගියා එයා එක්කන් එන්න. මහත්තයා නිදහස් කරල අපි පොලිසියෙන් පාරට බැහැලා 50m විතර යනකොට සුදු පාට වැන් එකකින් ඇවිල්ලා මගෙ මහත්තයව 1989.11.20 දවසේ පැහැරගෙන ගියා. මම පොලිසියට ගියත් එතනදි කිව්වේ “අපිට කරන්න දෙයක් නැ අපි නිදහස් කළානේ කියලා’’.
මම මහත්තයා හොයන්න මහත්තයගේ තාත්තත් එක්ක බුස්සේ කඳවුරට ගියා. ලංකාවෙ හැම තැනකම තියෙන යන්න පුළුවන් කියන හැම තැනකටම ගියා, සාස්තර ඇහුවා ඒත් කිසිම දෙයකින් බලපොරොත්තු වුණ උත්තරේ ලැබුණේ නෑ. මහත්තයගේ මරණ සහතිකේ එක්ක මට වන්දි විදිහට රු20000 හම්බ වුණා.

ශාන්ත කුමාර

අතුරුදහන් දිනය 13/11/1990
අතුරුදහන් ස්ථානය නුවර පොලිස් ස්ථානයේ දී

"පොලීසිය මගේ දරුවාව අතුරුදහන් කලා"
මගේ වැඩිමල් පුතා ශාන්ත කුමාර. අවුරුදු 15 වේ දී පාසැලෙන් අයින් වෙලා, දවස් පඩියට වැඩට ගියා, අපිව බලාගන්න.
1990 නොවැම්බර් 9 වෙනිදා, බෝගම්බර අසල පිහිටි පිට්ටනියක යාලුවොත් එක්ක සෙල්ලම් කර කර ඉද්දි, මගේ පුතාව පොලීසියෙන් රැගෙන ගිහින් තිබුණා. එතැන හිටපු ඔක්කෝටම වගේ පොලීසියෙන් ගහල, මගේ පුතා ඇතුළු තව කිහිපදෙනෙක් අරගෙන ගිහින් තිබුණා. හොරකමකට සැකපිට තමයි අරගෙන ගිහිල්ල තියෙන්නෙ.
ආරංචියත් සමගම මම නුවර පොලීසියට ගියා. මගේ දරුවා ශාන්ත එතකොට පොලීසියෙ හිටියා. මම පැමිණිල්ලක් කරලා නීතිඥ මහත්මයෙකුත් එක්කන් ගියා. ඊට පස්සෙ දිගටම දවස් 3ක් මම දරුවා බලන්න පොලීසියට ගියාම පොලීසිය කිව්වේ, පරීක්ෂණ වලට සතියක් විතර යයි, ඒවා ඉවර වුණාම එවන්නම් කියලයි. හතරවෙනි දවසේ ගියාම පොලීසිය කිව්වා මගේ පුතා පොලීසියෙන් පැනලා ගියා කියලා. මම නම් ඒක කොහොමවත් විශ්වාස කලේ නම් නෑ. එයා එලියට ගියානම් කොහොම හරි මට පණිවිඩයක් දෙනවා.
දවස් තුනක් පොලීසියෙ හිටපු මගේ පුතා එහෙම කොහොමද හදිස්සියේ අතුරුදහන් වෙන්නේ?
ඒ කාලෙ බොහෝ තරුණ ළමයින්ව මේ වගේ අරන් ගියා. ඒ ගෙනියන අයට පහර දීලා, වධ දීලා තිබුණා. මගේ පුතාට පහර දෙනව සමහර අය දැකලා තිබුණා. මගේ පුතත් එක්ක අත්අඩංගුවට ගත්තු එක දරුවෙක් සතියකට විතර පසු නිදහස් කරල තිබුණා. ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තලු. මම වැඩිපුර විස්තර ඇහුවත් ඒ දරුව වැඩියෙ කතා කරන්න කැමැති වුණේ නෑ, බය හින්ද වෙන්න ඇති.
පසුව මට ආරන්චි වුණා හොරකමට සම්බන්ධයි කියල බොරු කටඋත්තරයක් ගන්න පොලීසිය පුතාට වධ දුන්න කියල.
මම දරුවා හොයන එක අතහැරියේ නැහැ. ජනාධිපතිටත් ලිව්වා. 1996 ජනාධිපති කොමිසමට පැමිණිලි කලාට පසු රුපියල් 15,000ක් මට දුන්නා. මට කරන්න පුලුවන් හැමදෙයක්ම මම කලත්, දරුවට වුණේ මොකද කියලා නම් දැනගන්න ලැබුණේ නෑ.
කොළඹින් ආපු පොලිස් කණ්ඩායමක් නුවර පොලිස් ස්ථානය සෝදිසි කරලා තිබුණා, දරුවාව හොයන්න. වැඩක් වුණේ නෑ. මම පොලිස් SP කන්තෝරුවට ගියාට පසු කිව්වේ, මගෙ පුතාව වෙනත් රැඳවුම් කඳවුරකට මාරු කරලා, නමුත් කොයි කඳවුරටද කියල නම් කිව්වෙ නෑ. හැබැයි මට පොරොන්දු නම් වුණා හොයලා දෙනවා කියලා.
මගේ දරුවා කවදාවත් ආපහු ආවෙ නෑ.

ප්‍රකාශය - ශාන්ත කුමාරගේ මව වීරන් කදිරා

වසන්ත ගාමිණී අබේවික්‍රම

අතුරුදහන් දිනය 19/09/1989
අතුරුදහන් ස්ථානය වාවින්න නිවසේ දී

මගේ පුතා ගාමිණී කාර්මිකයෙක්. ඔහු අතුරුදහන් වෙද්දී ඔහුට වයස අවුරුදු 22 යි.
1989 සැප්තැම්බර් 19 වැනිදා රාත්‍රී 11.30 ට පමණ අපේ වාවින්නේ පිහිටි නිවසට හමුදා ජීප් රථ දෙකක් පැමිණියා. හමුදා නිල ඇඳුමින් සැරසුණු දසදෙනෙක් ජීප් රථයෙන් බැස ගාමිණීගේ නම කියමින් ගෙදර දොරට තට්ටු කළා. මම හොඳටම බය වුණා. ඒත් දොර ඇරියේ නැත්නම් කඩනවා කියලා තර්ජනය කළා. මම දොර විවෘත කළාම ඔවුන් ඇතුලට කඩා පැන්නා. ඒ ඇවිත් අපි දිහාට තුවක්කු දික් කරලා අපිට සද්ද නැතිව ඉන්න කිව්වා. මම කෑගැසුවා, ඔවුන් මට කටවහගන්න කිව්වා. මම කලබල වෙලා ක්ලාන්ත වුණා.
ඒ වන විට නිදා සිටි ගාමිණී සොයා ඔවුන් නිවස සෝදිසි කරලා තිබුණා. ඔවුන් ඔහුගේ කාමරයට ඇතුළු වී ඔහුව ඉන් පිටතට ඇද දමා පිටත ජීප් රථයකට තල්ලු කර තිබුණා. මට සිහිය ආවාට පසු මම ගාමිණීගෙ කාමරේට ගියාම දැක්කෙ එයාගෙ ඇඳ ඇතිරිල්ලයි සෙරෙප්පුයි එයත් එක්කම අතුරුදහන් වෙලා කියලා විතරයි. ඔවුන් බොහෝ විට ඔහුගේ මුහුණ බැඳීමට ඇඳ ඇතිරිල්ල අරන් යන්න ඇති.
පහුවෙනිදා උදෑසන මම පිරිමි ළමයි ගොඩක් රඳවා සිටි‍ය මඩුල්කැලේ කඳවුරට ගියා. ගාමිණී කියලා කෙනෙක් එතන හොයාගන්න බැරි බව හමුදා නිලධාරියෙක් මට දැනුම් දුන්නා. නමුත් ඒ ප්‍රදේශයට ආසන්න තේ වත්තේ කෙනෙක් මට කිව්වා මගේ පුතා කඳවුරේ මිදුලේ පිටිපස්සේ ඉන්නවා දැක්කා කියලා. මා පොලිසියට ගිය විට ඔවුන් මගේ පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ වුණත් මම ඉවසගෙන මාතලේ, පල්ලෙකැලේ, බූස්ස වගේ අනිත් කඳවුරුත් හොයලා බැලුවා.
බස් එකේදි මට ගාමිණී ගැන කතාවක් කියපු කෙනෙක් මුණගැහුණා. වැරදීමකින් මගේ පුතාව රැගෙන ගිය සොල්දාදුවන් කිහිපදෙනෙකු අතර සංවාදයක් ඔහුට ඇහිලා තිබුණා. මඩුල්කැලේ තැපැල් කන්තෝරුවේ ගාමිණී නැමති සේවකයකු සොයා ඔවුන් ගිය බවත්, තැපැල් කන්තෝරුවේ කෙනෙක් වැරදීමකින් ගාමිණී කියලා මගේ පුතාව ඔවුන්ට පෙන්නලා තිබුණා. ඔවුන්ගේ වැරැද්ද දැනගත් ඔවුන් මගේ පුතාව නිදහස් කර එය නිවැරදි කිරීමට උත්සාහ නොකළ නමුත් ඔවුන්ගේ වැරැද්ද සැඟවීමට ඔවුන් මගේ පුතාව අතුරුදහන් කළා. ඔවුන් අවසානයේ තැපැල් කන්තෝරුවේ සේවකයා ද සොයාගෙන ඔහුවද මරා දාලා.
මගේ පුතාගේ අතුරුදන්වීම ගැන මම ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පොලිසිය මගේ පැමිණිල්ල සටහන් කළේ 1996 දී, නමුත් මට තවමත් මගේ පුතා සොයා ගැනීමට නොහැකි වුණා. මට වන්දි වශයෙන් රුපියල් 25,000ක් ලැබුණා. නමුත් මගේ පුතා ජීවත්ව සිටියා නම් මීට වඩා මුදලක් උපයන්න තිබුණා.
මගේ පුතා නැතිව මට කිසිදෙයකින් වැඩක් නෑ. මම තනිවම ඉන්න නිසා මගේ අනාගතය ගැන විශ්වාසයක් තියාගන්න බෑ. ආණ්ඩුව මීට වඩා අතුරුදහන්වූවන්ගේ පවුල් පිලිබඳව සොයා බැලිය යුතුයි.

ප්‍රකාශය: වසන්ත ගාමිණී අබේවික්‍රමගේ මව වන එච්.ජී යශෝහාමි.

සුනිල් පෙරේරා

අතුරුදහන් දිනය 14/08/1989
අතුරුදහන් ස්ථානය පමුණුව, මහරගම

කුසුම්සිරි ද සිල්වා

අතුරුදහන් දිනය 11/11/1989
අතුරුදහන් ස්ථානය ජා ඇල නිවසේ දි

මගේ සැමියාව පැහැරගත් අයව මම දන්නවා
මම උසස්පෙළ විභාගය ඉවරවෙලා කටුනායක වෙළඳ කලාපයේ රැකියාවකට ගියා. එහිදී කුසුම්සිරි ද සිල්වා මුණ ගැහුණා. 1987 සැප්තැම්බර් මාසයේ දී විවාහ වී වසරකට පසුව අපට පුතෙක් ලැබුණා. 1989 නොවැම්බර් 11 වැනිදා කුසුම්සිරිව අපෙන් අරන් යද්දී අපි විවාහ වෙලා අවුරුදු දෙකක්.
පාන්දර 12-1 අතර පොලිස් නිලධාරීන් පිරිසක් අපේ දොර අරින්න කියලා බල කළා.
කුසුම්සිරි පොලීසියට බයේ ඇඳක් යට සැඟවී සිටිය දී ඔවුන් කුසුම්සිරිගේ මල්ලිව රැගෙන ගියේ ඔහු මගේ සැමියා යැයි වරදවා හඳුනාගෙන.
පැය 2කට පමණ පසු නැවතත් පොලිස් කණ්ඩායමක් පැමිණ කුසුම්සිරි ඔවුන්ගේ ග්‍රහණයට අල්ලාගෙන ඔහුගේ සරමෙන් රෙදි කැබැල්ලක් ඉරාගෙන ඔහුගේ ඇස් බැඳලා අපගේ විරෝධතාව මැද ඔහුව රැගෙන ගියා.
පසුදා උදේ කුසුම්සිරිගේ පියා කුසුම්සිරිගේ සහෝදරිය සමඟ ජාඇල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළා. කුසුම්සිරි පැහැර ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇතත් බියට ඔවුන්ගේ නම් සඳහන් කරලා නෑ. කුසුම්සිරිගේ පියා කුසුම්සිරිගේ සහෝදරියගේද සහාය ඇතිව ජාඇල පොලිසියේ ආපන ශාලාව කරමින් සිටි නිසා ඔවුන් අපේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඉතා පැහැදිලිව හඳුනාගත්තා. පොලිස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ SI ක්ලෙමන්ට් ප්‍රනාන්දු විසින්.
දින කිහිපයකට පසු, එදිනම පැහැරගත් මගේ මල්ලී සහ තවත් තිදෙනෙකු ආපසු නිවසට පැමිණි‍යා. තමන් යට ඇඳුමෙන් පමණක් විදුලි පහන් කණුවල ගැට ගසා තිබූ බවත්, පසුව ගැට ගලවා මුදා හැරිය බවත් ඔහු හෙළි කළා. කුසුම්සිරිව පැහැර ගැනීමට කලින් මම පමුණුගම පිහිටි මගේ නිවසේ සිටියදී මගේ මාපියන්ගේ නිවස අසල තිබූ මාමාගේ නිවසට ගිනි තැබූ නමුත් වාසනාවකට එය සිදුවන විට නිවසේ කිසිවකු සිටියේ නෑ. පසුවදා තාත්තාත්, අම්මාත්, මාවත්, ඒ වන විට පමුණුගම පොලිසිය භාවිත කළ අසල පිහිටි හෝටලයකට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැරියා. එහිදී අපේ මාමාට විරුද්ධව ගමේ මිනිස්සු අත්සන් කරපු පෙත්සමක් පෙන්නුවා.
කුසුම්සිරි ගැන යම් යම් තොරතුරු සොයන්නට අපි හැම උත්සාහයක්ම ගත්තත් එය වැඩක් වුණේ නෑ.
BMICH හි පැවති ජනාධිපති කොමිසමේ පරීක්ෂණවලින් පසුව මට රු. 50,000 ක් සහ මරණ සහතිකයක් ලැබුණා.

ප්‍රකාශය: කුසුම්සිරි ද සිල්වාගේ බිරිඳ දිවාසිරි කොටිකාවත්ත.

අනුර ප්‍රියදර්ශන

අතුරුදහන් දිනය 19/11/1989
අතුරුදහන් ස්ථානය වේයන්ගොඩ මගලේගොඩ නිවසේ දී

මගේ නම ලීලාවති. මට හිටියෙ මල්ලියෙක් විතරයි. ලොකු අඩුපාඩුවක් නැතුව ජීවත්වෙලා අවුරුදු 22 දී කසාද බැඳලා දරුවෝ හතර දෙනෙකුත් හදාගෙන වේයන්ගොඩ මගලේගොඩ ඉඩමේ ගේකුත් හදලා කඩයක් කරගෙන අපි සතුටින් ජීවත් වුණා. ලොකු පුතාට අවුරුදු 20 වෙනකල් අපිට විශේෂ අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපේම මහන්සියෙන් වැඩ කරගෙන ළමයින්ට උගන්නගෙන අපි සතුටෙන් හිටියා.
1989.11.19 වෙනිදා රාත්‍රී 11.30 පමණ වේයන්ගොඩ පොලීසියේ කවිරත්න රාළහාමියි, ගාමිණි කොරයා කියන ග්‍රාමසේවකයි ඇවිල්ලා මගේ අනුර ප්‍රියදර්ශන පුතාව පොලීසියට එක්කගෙන ගියා. පුතා කරපු වරදක්වත් වෙන හේතුවක්වත් අපිට කිව්වේ නැහැ. ඒ දවස්වල රට පුරාම ලොකු පිරිමි ළමයි ගෙනියන කතා තිබුණා. අපේ පැත්තේ එහෙම අරන් ගියේ ශ්‍රී ලංකා පක්ෂෙට වැඩ කරපු ගෙවල්වල ළමයි. එතකොට තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. පොලීසිවල හිටපු මිනිස්සු වැඩ කළේ නීතියකට නෙවෙයි. ඊට ටික දවසකට කලින් ශ්‍රී ලංකා පක්ෂයෙන් අයින් වුණා කියලා ගේ ඉස්සරහ පෝස්ටරයක් ගහන්න මහත්තයට කියලා තිබුණා. ඒ වගේ තර්ජන ලැබිච්ච සමහර ගෙවල් වලින් එහෙම පෝස්ටර් ගැහුවා. සමහරු එහෙම කළේ නැහැ. අපිත් පොස්ටරයක් ගැහුවේ නැහැ. ඒ හේතුව හැර අපි එක්ක තරහ වෙන්න මේ වගේ අපරාධයක් කරන්න හේතුවක් තිබුණේ නැහැ.
පුතා ගෙදර ආවේ නැති හන්දා මම වේයන්ගොඩ පොලීසියට ගිහින් විස්තරේ කියලා පැමිණිල්ලක් දාන්න ඕනි කිව්වා. පොලීසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැහැ. දරුවා ගෙනිච්චට පස්සේ මහත්තයගේ කල්පනාව එච්චරම හොඳ නැහැ වගේ දැනුණා. ඒ හින්දම මම ඊට පහුවදාම ගම්පහ පොලීසියට ගියා. අහගෙන ඉන්න බැරි ජරා කතා කියලා මාව පොලීසියෙන් එලෙව්වා. පැමිණිල්ල ලිව්වේ නැහැ. පුතා වෙනුවෙන් එයාව හොයා ගන්න අපිට කරන්න පුලුවන් දෙයක් ඒ දවස්වල තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මව් පෙරමුණ හදලා කතරගමට ගිය පාගමනට මමත් ගියා. අවුරුදු ගාණකට පස්සේ පුතා වෙනුවෙන් කියලා මට 1994 දී රු.15,000 වන්දියක් ලැබුණා. අම්මා කෙනෙක්ට ලෙයින් කිරෙන් වදපු දරුවට කොහොමවත් මිලක් දෙන්න බැහැ.

ගිරඹේ ගෙදර සමරසිංහ

අතුරුදහන් දිනය 09/10/1989
අතුරුදහන් ස්ථානය පල්ලෙකැලේ හමුදා කඳවුරේ දී

වැරැද්දක් කරල තිබුණත් දඬුවමක් හැටියට අතුරුදහන් කරන්න පුළුවන් ද ?
මගේ සැමියා ලී සපයන කොන්ත්‍රාත්කරුවෙක්. 1971 දි ඔහු JVP එකට සම්බන්ධ වී සිටියත් 1989 දී ඒ සම්බන්ධකම් තිබුණේ නෑ.
1989 ඔක්තෝබර් 9 වෙනිදා, පාන්දර 6.30 ට පමණ, අංක තහඩු රහිත හමුදා ජීප් එකක් අපේ ගෙදරට පැමිණියා. ඒ ජීප් එක ඇතුළේ මගේ මහත්තයාගේ යාලුවෙකුත් හිටියා. මගේ මහත්තයා ගැන අහලා, අපේ ගේ ඇතුළත් පරීක්ෂා කළා. මහත්තයා ඒ වෙලාවේ කඩේට ගිහිල්ලා හිටියේ. ඊට පසු මගේ මහත්තයව හොයාගන්න කියලා, ඒ වෙලාවේ ගෙදර හිටපු, මහත්තයාගේ මල්ලි, රාජකරුණාව ජීප් එකේ බලහත්කාරයෙන් දාගෙන ගියා. පස්සේ මහත්තයාගේ මල්ලි මට කිව්වා, මගේ මහත්තයාව පාරෙදි හම්බ වුණාම, මල්ලිව බස්සලා, මහත්තයාව දාගෙන ගියා කියලා.
ඒ ගමන්ම අපි වත්තේගම පොලීසියට ගියා. නමුත් අපට මගේ සැමියාව එහිදී හොයාගන්න බැරි වුණා. අපි පැය දෙකක් පොලීසියේ රැඳී සිටියා සැමියාව රැගෙන ගිය ජීප් එක එනවාද කියලා බලන්න. මගේ යාලුවෙක් වන චිත්‍රා කිව්වා ඒ ජීප් එක නුවර හමුදා කඳවුර පැත්තට යනවා දැක්කා කියලා. චිත්‍රාගේ මහත්තයත් දැකලා තියෙනවා, කවුදෝ කෙනෙක් මහත්තයට බත් පැකට් එකක් අරන් දෙනවා. මම නුවර ආමි කෑම්ප් එකට ගිහිල්ලා, කඳවුර භාර ප්‍රධානියාව මුණගැහෙන්න ඉල්ලුවා, නමුත් ඒකට ඉඩ ලැබුණේ නෑ. කඳවුර ඉස්සරහ කඩේක හිටපු, සිවිල් අඳුමෙන් සැරසුණු හමුදා නිලධාරියෙක් මට බොහෝම කණගාටුවෙන් වගේ කිව්වා,""ඉහලින් ලැබුනු නියෝගයක් මත, මගේ මහත්තයව ගෙනියන්න ආවේ එයා බව"".
පසුව මට දැනගන්න ලැබුණා, මහත්තයාව ගෙනිහින් තියෙන්නෙ පල්ලෙකැලේ හමුදා කඳවුරට කියලා. කිහිපවතාවක් ඒ කඳවුරට ගියත්, මහත්තයා ගැන කිසිඳු තොරතුරක් නම් ලැබුණේ නෑ. වත්තේගම පොලීසියට ගිහිල්ලා, පැමිණිල්ලක් කළත්, ඒක හරියට ලියා ගත්තා ද දන්නේ නම් නෑ. මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගෙන්, මේජර් මෙන්ඩිස් නැමැති හමුදා නිලධාරියට ලිපියක් අරගෙන ගියත් ඒ නිලධාරියාවවත් හම්බවෙන්න නම් ලැබුණේ නෑ.
එහෙම ගිය දවසක, මට කඳවුර ලඟ හිටපු පුද්ගලයෙක් කිව්වා ""මගේ මහත්තයා, හමුදා නිලධාරීන්ට පහර දෙන්න ගිය නිසා, හමුදා නිලධාරීන් ඔහුට පහර දීම නිසා මහත්තයට අමාරුයි"" කියලා. මම ඒ ගමන්ම ලෝයර් කෙනෙක් එක්ක ගියහම, අපිට දැනුම් දුන්නා, ""මහත්තයව නිදහස් කරන්න තව කල් යයි"" කියලා.
මහත්තයාගේ වෙනත් යාලුවෙක් පසු දවසක මට කිව්වා, ඔහු සිල්වෙස්ටර් කෑම්ප් එකේ ඉද්දි මගේ මහත්තයත් එහි සිටි බව.
මාස තුනක් පමණ මම මහත්තයව හොයන්න උත්සාහ කළත්, කිසිදු තොරතුරක් ලැබුණේ නෑ.
මගේ මහත්තය JVP එකට හිතවත් වුණත්, JVP එකට සම්බන්ධ වුණේ නම් නෑ. මගෙ මහත්තයා, විරුද්ධ පක්ෂයේ SLFP එකේ රත්වත්තේ මහත්මයාට උදවු කරපු තරහට, UNP එකේ මන්ත්‍රී විජයසිරි, මහත්තයගෙන් පලිගන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ. ඒ කාලෙ මධ්‍යම පලාතේ හිටපු උඩුගම නැමැති උසස් පොලිස් නිලධාරියා, මේ අතුරුදහන් වීම් පිටුපස හිටිය කියලා කතාවක් තිබුණා. ඔහු සතුව මරාදැමිය යුතු අයගේ නම් ලැයිස්තුවක් තිබුන බවත්, කොල කොටි කණ්ඩායම මෙහෙව්වෙත් ඔහු කියලයි, කථාව තිබුණේ.
මම 1996 දි, ජනාධිපති කොමිසමට පැමිණිලි කලාම, මරණ සහතිකයකුයි, රුපියල් 50,000 කුයි ලැබුණා. ලැබුණු මාසික දීමනාව රුපියල් 500, 2001න් පසු නැවැත්වූවා. මහත්තයාගේ අතුරුදහන් වීම අපේ දරුවන්ගේ අධ්‍යාපනයට විශේෂයෙන් බලපෑවා.
මගේ මහත්තය ඇත්තටම වැරැද්දක් කරලා තිබුණා වුණත්, මේ විදියට අතුරුදහන් කරලා, දඬුවම් දෙන්න පුලුවන්ද?
ආණ්ඩුව මේ අතුරුදහන් කිරීම් වලට වගකිව යුතුමයි.

ප්‍රකාශය - ගිරඹේ ගෙදර සමරසිංහගේ බිරිඳ විදානගේ එල්සි වැලිකුඹුර

වන්නිඅරච්චිගේ දොන් අජිත් ලක්ෂ්මන්

අතුරුදහන් දිනය 21/10/1989
අතුරුදහන් ස්ථානය හල්පේ, පතඟිගොඩැල්ල පල්ලියේ දී

මම පුෂ්පා වන්නිආරච්චි. මාගේ බාල සොහොයුරා වන වන්නිආරච්චිගේ දොන් අජිත් ලක්ෂ්මන් නිරන්තරයෙන්ම පල්ලිය හා සමග කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. අපි ජීවත්වුණේ ගම්පහ හල්පේ කටාන කියන ගමේ. මගේ මල්ලී නිරන්තරයෙන් සතුන් ඇති කළා. නිහඬ චරිතයක් ඇති මාගේ සොහොයුරා ඉතාමත් අහිංසක ගති පැවතුම් ඇති අයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධ වී සිටියා. මාගේ සොහොයුරා 1971.05.20 වෙනිදා උපත ලැබූ අතර මාත් මල්ලීත් හා ඉතාමත් කිට්ටු සබදතාවයක් තිබුණා.
අප වෙනදා මෙන් එම දිනයේ එනම් එක්දහස් නවසියඅසූ නවයේ දහවන මස විසි එක්වන දින සුපුරුදු පරිදි අපගේ දින චර්‍යාවන් ගෙවුණු අතර විශේෂයෙන් පතඟිගොඩැල්ල පල්ලියේ මංගල්‍ය උත්සවය සදහා සැරසීම් කටයුතු තරුණ සමාජයෙහි සාමාජිකයෙකු ලෙස මල්ලිද එයට සහභාගි වුණා. පල්ලියේ සැරසීම් කටයුතු කරන විට මා ද පල්ලියට ගියා, මල්ලි සමග තවත් සමවයස් අසල්වැසි යහළුවන්ද සිටිනවා මම දැක්කා. ඒ පල්ලියේ ටික වෙලාවක් රැඳුණු මා මවගේ අවශ්‍යතාවයකට නැවත ගෙදරට පැමිණියා.
රැය පහන් කිරිමට මල්ලී පල්ලියට ගිය නිසා රාත්‍රියේ අප සියලු දෙනාම නින්දට සුදනම් වෙමින් සිටිද්දී අපගේ මහ දොරකඩින් දොරට තට්ටු කරන හඬක් ඇසුණා. මාගේ මව දොර අරිනවාත් සමග කිහිප දෙනෙකු ඇතුළු වුණා. එක් අයෙක් නිවසේ තිබු පහන නිවා දැමූ අතර අපගේ අසල් වැසියන් වූ ඇන්ටනී පාරිස් සහ පැට්‍රික් වීරක්කොඩි යන දෙදෙනාද ගෙට ඇතුළු වුණා. පැට්‍රික් වීරක්කොඩි ඒ වනවිට පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වූ අතර ඇන්ටනී පාරිස් ග්‍රාමාරක්ෂකයෙකු ලෙස සේවය කළා. තවද හමුදා ඇඳුමකට සමාන ඇඳුම් ඇඳි කිහිපදෙනෙක් මල්ලීගේ නම කියමින් ගේ ඇතුළ පීරුවා. මාගේ සහෝදරයා ගෙදර නැති බව දැනගත් ඔවුන් නිවසින් පිටත් වුණා. ඔවුන් පසුපස මාගේ මව ගිහින් ටික වේලාවකින් ඇය පැමිණියේ මහත් උභතෝකෝටිකයකින්.
රාත්‍රියේ වැඩ නිමවී ගෙදරට ආ මාගේ පියාට ඇතිවූ සැකය මත පල්ලියට ගොස් මල්ලී පිළිබඳව සොයා බැලුවා. නිවසට පැමිණි පිරිස පසුව පල්ලියටද ගිහින් තියෙනවා. තැනින් තැන සැඟවී සිටි අජිත් මල්ලීගේ සමවයස් යහළුවන්, මාමේ.......මාමේ...... අජිත්ව ඇරගෙන ගියා... කියලා පවසා තියෙනවා. පසුව මාගේ පියා පල්ලියෙන් පිටවනවාත් සමඟම මංගල්‍ය පොළට සූදානම් වීමට පැමිණි මණිබඩු වෙළෙන්දෙකු, මල්ලීව පිරිසක් විසින් රැගෙන ගිය බවත් රැගෙන ගියා කියලා දැන ගන්න ඔහුගේ ඇඳ ඇතිරිල්ල කම්බි වැටට දැම්ම බවත් පවසලා තියෙනවා.
ඉන්පසුව මල්ලිව බොහෝ තැන්වල හෙව්වා, 1989.10.27 දින කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිලි කළත් කිසිදු ප්‍රගතියක් තිබුණේ නෑ. 1994 දී මල්ලීගේ අතුරුදහන්වීම වෙනුවෙන් රු.15 000 ක වන්දියක් අපට ලැබුණා. පසුව පැට්‍රික් වීරක්කොඩි හා ඇන්ටනී පාරිස් යන අයට විරුද්ධව උසාවියේ නඩුවක් සිදු කළ අතර සාධාරණය නම් තවමත් අපට ලැබුණේ නෑ.

ඩබ්. ජයමාන්න

අතුරුදහන් දිනය 19/08/1989
අතුරුදහන් ස්ථානය මාලබේ, කහන්තොට නිවසේ දි

කපිල බන්දුල

අතුරුදහන් දිනය 17/09/1989
අතුරුදහන් ස්ථානය මහරගම, විජේරාමේ දී

අපි ජීවත් වුනේ හරිම සතුටින් අපේ ගම නූගේගොඩ.මේ කාලේ වෙනකොට රටේ ලොකු භීෂණ කාලයක් තමයි තිබුණේ.හැමතැනම කරදර.ඒත් අපි හරීම සතුටෙන් ජීවත් වුනා.අපේ පවුලේ මමයි අක්කලා දෙන්නයි මල්ලී අම්මයි තාත්තයි.
මගේ මල්ලී කපිල බන්ධුල.එයා ඒවෙනකොට ඒ කියන්නේ 1989 අවුරුද්ද වෙනකොට උසස්පෙල විභාගයට මුහුණ දීලා ප්‍රථීපල එනකම් හිටියේ.මගේ මල්ලි ඉගෙනීමට හරිම දක්ෂ තරුණ ළමයෙක්.කොටින්ම කියුවොත් එයා සාමන්‍ය පෙළ විභාගයටවත් අමතර පන්ති ගියේ නෑ.මගේ මල්ලි හරීම වගකීමක් තිබුණ කෙනෙක්.එයා 1989 අප්‍රේල් මාසේ අපේ ගෙදර තීන්ත ගානකොට අපි හැමෝටම කියුවා,ලබන සැරේනං මගේ වියදමෙන් තමයි තීන්ත ගාන්නේ කියලා.පවුල ගැන හූගාක් හිතපු කෙනෙක් මගේ මල්ලී.අසල් වැසියන් එක්ක උනත් ඉතාම සුහදව තමයි එයා ජීවත් වුණේ.හූගාක්ම පොඩි දරුවන්ට කැමතියි.මගේ මල්ලී ඒ ළමයින් එක්ක සෙල්ලම කලා.එ පොඩි ළමයිනුත් මගේ මල්ලිට කැමතියි.
එදා ඉරිදා දවසක් 1989.09.17 මල්ලි ගෙදර තමා හිටියේ.එක පාරටම යාලුවෙක් ඇවිත් මල්ලිව අඩගහගෙන ගියා.එහෙම යාලුවෝ නිතරම මල්ලි මුණගැහෙන්න එනවා.එදත් ඉතින් හරිම සාමන්‍යයි.එ මල්ලිත් එක්ක මගේ මල්ලිත් ගියා.එදා හවස් වෙනකම්ම මල්ලි ආවේ නෑ.පස්සෙ තමා අරංචි උනේ මල්ලිව පැහැරගෙන කියලා.අපි විශ්වාස කරන්නේ නෑ මල්ලි මොනම දෙයකටවත් සම්බන්ධයි කියලා.ඒත් මල්ලි එක්ක ගිය කෙනා හින්දා තමා මේක උනේ.
අපේ පවුලටම හිටිය හයිය මගේ මල්ලී.එයාගේ අතුරුදහන් වීම අපිට ලොකු පීඩනයක් උනා.මගේ අම්මා මල්ලිව හැම තැනම හෙව්වා.බුස්ස,මාතර,අනුරාධපුර,කොලඹ,යන්න පුලුවන් හැම හමුදා කදවුරු හොයන්න පුලුවන් හැම තැනකම මල්ලිව හෙවුවා.සාස්තර පුද පූජා ඒ හැම එකකටම අම්මත් ගියා.අම්මා මල්ලිව හොයන්න හොයන්න අපේ පවුලෙ ප්‍රශ්ණ වැඩි උණා.මොකද අම්මා හැමතිස්සේම ගෙදර නෑනේ.ඒත් එක දවසක් එක සාස්තර කියන තැනකින් කියලා තිබුනා මල්ලි නැතිවෙලා කියලා.අවුරුදු 5කට පස්සේ තමයි අම්ම මල්ලිව හොයන එක නතර කරේ,ඒ දානයක් දුන්නට පස්සේ.
අම්ම ඊට පස්සේ ලෙඩ උනා.අක්කත් ලෙඩ උනා,තාත්තාත් නැතිවුණා.තාත්තා ලෙඩ උණාට පස්සේ අම්මා තව තවත් ලෙඩ වෙන්න ගත්තා.මට රස්සාවෙන් අස්වෙන්න උණා.මොකද අම්මයි අක්කයි බලාගන්න කවුරුවත් නැති නිසා.මල්ලිගේ උසස්පෙළ විභාග ප්‍රතිඵල බලන්නවත් අපි ගියේ නෑ.එයා රස්සාවකට ඉල්ලුම් කරලා තිබුණා උසස්පෙලින් පස්සේ,එ රස්සාවත් ආවේ එයා අතුරුදහන්වුණාට පස්සේ.රුපියල් 15000ක වන්දියක් නම් අපිට හම්බවුණා,බණ්ඩාරණායක සම්මත්‍රණ ශාලාවේ තිබුණ වන්දි ගෙවීමේ වැඩසටහනකින්.ඒත් රුපියල් 15000ද මගේ මල්ලිව වටින්නේ?

පොඩි අක්කා මාලා ජයකොඩි

ජමාල්ඩීන් ඩිලාන්

අතුරුදහන් දිනය 17/09/2008
අතුරුදහන් ස්ථානය මුබාරක් අන්වර් අලීගේ දෙහිවල නිවසේ දී

මම ජෙනිෆර් වීරසිංහ. මම මැලේ ජාතික ඉස්ලාම් ආගම අදහන කාන්තාවක්. මගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කරපු කෙනෙක්. එයා දැන් විශ්‍රාමිකයි. එයා බුද්ධාගමේ කෙනෙක්. අපි කතාවෙලා ගෙදර ආගම් දෙකම ඇදහුවා. ඒ හන්දා අපේ පුතාට නම දැම්මේ ජමාල්ඩීන් ඩිලාන් කියලයි. මුල් නම මගෙන්. අනික තාත්තගෙන්. පුතා වැඩිපුර හැදුනෙත් ඉන්න කැමති උනෙත් මගේ මහගෙදර හින්දා එයා මුස්ලිම් ආගම ඇදහුවා. ඉගෙන ගත්තෙත් රස්සාව කළෙත් මරදානේ ඒ ගෙදර ඉදලා. දුව පුංචි කාලේ ඉදලා කුරුණෑගල අපේ ගෙදර බුද්ධාගමට නැඹූරුව ඉගෙන ගත්තා. පුතා පුද්ගලික ආයතනයක රස්සාව කළා.
2008.09.17 වෙනිදා මගේ ගෙදරින් කෝල් කරලා පුතා ඊයේ යාලුවොත් එක්ක ගමනක් ගියා තාම ගෙදර ආවේ නැහැ කියලා කිව්වා. ඒ දවස්වල සුදු වෑන්වලින් ළමයි ගෙනියන ප්‍රශ්න තිබුණ නිසා ඇවිත් ටිකක් බලන්න කියලා ගෙදරින් කිව්වා. පුතා එක්ක යන්න ආපු අය ටෙලිෆෝන් නම්බරේකුත් එක්ක නෝට් එකක් තියලා ගිහින් තිබුණා. කතා කරලා බැලුවහම තවත් යාළුවෝ හතර දෙනෙක් එක්ක රජීව් නාගානන්දගේ පාටියකට රෑ යන බව කිව්වා. පාටියට යන්න බම්බලපිටියේ සිල්ක් එකට කොණ්ඩය කැපීමට ගියපු අවස්ථාවේ මුබාරක් අන්වර් අලී නමැත්තාගේ දුරකථන ඇමතුමකට මුදල් ගණුදෙණුවක් සඳහා ඔහුගේ නිවසට ගියපු අවස්ථාවේ දී නාවික හමුදාවේ පිරිසක් විසින් පැහැරගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ පුතා කතා කලේ නැහැ. දවස් තුනක් වෙනකොටත් ආවෙ නැති හින්දා පුතාගේ යාළුවන්ගේ ගෙවල්වල ගිහින් විස්තර හොයලා බලන්න මමයි මහත්තයයි ගියා. නාගානන්දගේ අම්මාට කතාකරහම කිව්වේ මේ සිද්ධිය ගැන කාටවත් කියන්න ඕන නැහැ එයා පුතාව හොයා ගන්නවා කියලා. මමයි මහත්තයයි මරදාන පොලීසියට ගිහින් පැමිණිල්ලක් කරා. පොලීසියෙන් කිව්වා අනෙක් යාළුවන් ගැනත් ඒ ගෙවල්වලින් කියන දේවල් ගැනත් තොරතුරු දැනගන්න කියලා. මමයි මහත්තයයි යාළුවන්ගේ ගෙවල්වලත් රැකියාව කරපු තැන් හා වෙනත් විස්තර දන්න අයගෙනුත් විස්තර පොලීසියට කිව්වා. ඒත් හොයනවා බලනවා කියන දේ හැර අලුත් තොරතුරක් ලැබුණේ නැහැ. ඒ අතරෙ CID පැමිණිලි කරා. සමහර තොරතුරු හොයලා දුන්නත් අපිට පොලීසියෙන් කිසි උදවුවක් ලැබුණේ නැහැ. අවුරුද්දකට විතර පස්සේ CID අපිට කිව්වා මුබාරක් ළමයි අරගෙන ගිය කණ්ඩායමේ ඔත්තුකරුවෙක් බවත් නාවික හමුදාවේ ලෙෆ්ටිනල් කමාන්ඩර් සම්පත් මුණසිංහ මේ සිද්ධියට මුල්ව ඇති බවත් මේ කරුණූ හැම එකක්ම මම ලිඛ්තව අදාළ හැම තැනකටම දැනුම් දුන්නා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු දැන්විය හැකි සියලු අයටම ලිඛිතව දැනුම් දුන්නා මුණගැහෙන්න අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒත් ඒ එක දේකින්වත් සතුටුදායි පිළිතුරු ලැබුණේ නෑ.
මමත් තවත් අම්මෙක් එක්ක එකතුවෙලා මෙ ගැන නඩුවක් දැම්මා. දැන් අවුරුදු 13 වැඩි කාලයක් මේ නඩුව අරගෙන යනවා. දැනට මේ නඩුව සදහා අධි චෝදනා ලැබූ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩට ආණ්ඩුකාරකම් තනතුරකුත් දුන්නා. ඒත් අපි හිත හයියකරන් අධිකරණය ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා තාමත්.

මාරසිංහ ආරච්චිලාගේ රුක්ශාන්ත

අතුරුදහන් දිනය 05/09/1989
අතුරුදහන් ස්ථානය මට්ටක්කුලිය නිවසේ දි

W. P. ලලිත් විජේරත්න

අතුරුදහන් දිනය 12/12/1989
අතුරුදහන් ස්ථානය කොළඹ පොලීසියක දී

අපි JVP කියල හන්වඩු ගහල බොහෝ අය අපිව නොසලකා හැරියා.
මම W.P. පියසේන දරුවො තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක්.
දෙවෙනිය ලලිත්, හිටියෙ පේරාදෙණියේ කැම්පස් එකේ. මගේ බාලය රංජිත් විවාහවෙලා දරුවො දෙන්නෙක් හිටිය. ඒ කාලෙ ඔහු රැකියාව කලේ ගාමන්ට් එකක. නමුත් අද මට ඉන්නෙ ලොකු පුතා විතරමයි, අනිත් දෙන්නම උන් අරන් ගියා.
ඒ කාලෙ ලලිත් තමයි පේරාදෙණියේ කැම්පස් එකේ , JVP එකට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍යය සංගමයේ සභාපති. පොලීසිය කිහිපවතාවක් ලලිත්ව හොයාගෙන අපේ ගෙදරට ආවා. පොලීසිය දිගටම ලලිත්ව හොයාගෙන අපේ ගෙදර එන්න පටන් ගත්තට පස්සෙ ලලිත් ගෙදර ආවෙම නෑ.
1989 දෙසැම්බර් 10 අපි නෑදෑ ගෙදරක ඉද්දි පොලීසිය ඒ ගෙදරට කඩා පැන්න, ලලිත්ව අහගෙන. ඒ ගමන මගෙ මහත්තයාව සුදු වෑන් එකක දාගෙන ගියා, ලලිත්ව එවනකන් කියලා. ඉන් දවස් දෙකකට පස්සෙ බාල පුතා රංජිත්වත් පොලීසියෙන් ඇවිත් බලහත්කාරයෙන් අරගෙන ගියා. මගේ මහත්තයාව තියාගෙන හිටපු පොලීසියටමයි රංජිත්ව ගෙනිහින් තිබුණේ. ඔවුන් දෙදෙනා තියල තිබුණේ නම් වෙන වෙනම කාමර දෙකක. එතකොට රංජිත්ගේ වයස 28 යි.
ලලිත් අතුරුදහන් වෙද්දි එයාට අවුරුදු 30ක් පමණ ඇති. පොලීසිය ලලිත්ව හොයාගෙන ගෙදර එන්න ගත්තට පස්සෙ ලලිත් ගෙදර ආවෙම නෑ. අදටත් අපි දන්නෙ නෑ ලලිත්ට මොකද උනේ කියල.
1990 ජනවාරි දෙවනදා, මගෙ මහත්තයව නිදහස් කලත් රංජිත්ව නම් එව්වෙ නෑ. මගෙ මහත්තයා රංජිත් ගැන අහන්න ඒ පොලීසියට ගිය හැම වතාවෙම කියල තිබුනෙ, එයාව ප්‍රශ්ණ කරල ඉවර වුනාම එවනව කියලයි. ඒත් රංජිත් කවදාවත් ආපහු ගෙදර ආවෙ නෑ.
අද වෙනකන් අපි දන්නෙ නෑ අපේ දරුවො දෙන්නට මොකද වුණේ කියලා. එයාලව මැරුවා නම් ඇයි ? මොකටද? කවුද මැරුවෙ? අදටත් කවුරුවත් ඒවාට උත්තර දෙන්නෙ නෑ.
1996 දී, ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වලින් පස්සෙ, දරුවො දෙන්නගෙ මරණ සහතික දෙකත්, වන්දි කියල එක්කෙනෙකුට රුපියල් 25,000 ගාණේ 50,000 කුත් ලැබුණා. කාලෙකට පස්සෙ මාසෙකට රුපියල් 500 ගාණේ ලැබුණත්, 2001 ආණ්ඩුව ආවට පස්සෙ ඒකත් නැවතුණා.
රංජිත්ගේ අතුරුදහන් වීම ගැන උසාවියේ නඩුවකුත් තිබුණා. ඒකෙනුත් කිසිදෙයක් නම් උනේ නෑ.
රංජිත්ගේ බිරිඳටත්, දරුවො දෙන්නටත් , රංජිත්ගේ අතුරුදහන් වීමෙන්, බොහෝ දුක් අමාරුකම්, කරදර වලට මුහුණ පෑමට සිදුවුණා.

W.P. රංජිත් විජේරත්න

අතුරුදහන් දිනය 12/12/1989
අතුරුදහන් ස්ථානය කොළඹ පොලීසියක දී

අපි JVP කියල හන්වඩු ගහල බොහෝ අය අපිව නොසලකා හැරියා.
මම W.P. පියසේන දරුවො තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක්.
දෙවෙනිය ලලිත්, හිටියෙ පේරාදෙණියේ කැම්පස් එකේ. මගේ බාලය රංජිත් විවාහවෙලා දරුවො දෙන්නෙක් හිටිය. ඒ කාලෙ ඔහු රැකියාව කලේ ගාමන්ට් එකක. නමුත් අද මට ඉන්නෙ ලොකු පුතා විතරමයි, අනිත් දෙන්නම උන් අරන් ගියා.
ඒ කාලෙ ලලිත් තමයි පේරාදෙණියේ කැම්පස් එකේ , JVP එකට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍යය සංගමයේ සභාපති. පොලීසිය කිහිපවතාවක් ලලිත්ව හොයාගෙන අපේ ගෙදරට ආවා. පොලීසිය දිගටම ලලිත්ව හොයාගෙන අපේ ගෙදර එන්න පටන් ගත්තට පස්සෙ ලලිත් ගෙදර ආවෙම නෑ.
1989 දෙසැම්බර් 10 අපි නෑදෑ ගෙදරක ඉද්දි පොලීසිය ඒ ගෙදරට කඩා පැන්න, ලලිත්ව අහගෙන. ඒ ගමන මගෙ මහත්තයාව සුදු වෑන් එකක දාගෙන ගියා, ලලිත්ව එවනකන් කියලා. ඉන් දවස් දෙකකට පස්සෙ බාල පුතා රංජිත්වත් පොලීසියෙන් ඇවිත් බලහත්කාරයෙන් අරගෙන ගියා. මගේ මහත්තයාව තියාගෙන හිටපු පොලීසියටමයි රංජිත්ව ගෙනිහින් තිබුණේ. ඔවුන් දෙදෙනා තියල තිබුණේ නම් වෙන වෙනම කාමර දෙකක. එතකොට රංජිත්ගේ වයස 28 යි.
ලලිත් අතුරුදහන් වෙද්දි එයාට අවුරුදු 30ක් පමණ ඇති. පොලීසිය ලලිත්ව හොයාගෙන ගෙදර එන්න ගත්තට පස්සෙ ලලිත් ගෙදර ආවෙම නෑ. අදටත් අපි දන්නෙ නෑ ලලිත්ට මොකද උනේ කියල.
1990 ජනවාරි දෙවනදා, මගෙ මහත්තයව නිදහස් කලත් රංජිත්ව නම් එව්වෙ නෑ. මගෙ මහත්තයා රංජිත් ගැන අහන්න ඒ පොලීසියට ගිය හැම වතාවෙම කියල තිබුනෙ, එයාව ප්‍රශ්ණ කරල ඉවර වුනාම එවනව කියලයි. ඒත් රංජිත් කවදාවත් ආපහු ගෙදර ආවෙ නෑ.
අද වෙනකන් අපි දන්නෙ නෑ අපේ දරුවො දෙන්නට මොකද වුණේ කියලා. එයාලව මැරුවා නම් ඇයි ? මොකටද? කවුද මැරුවෙ? අදටත් කවුරුවත් ඒවාට උත්තර දෙන්නෙ නෑ.
1996 දී, ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වලින් පස්සෙ, දරුවො දෙන්නගෙ මරණ සහතික දෙකත්, වන්දි කියල එක්කෙනෙකුට රුපියල් 25,000 ගාණේ 50,000 කුත් ලැබුණා. කාලෙකට පස්සෙ මාසෙකට රුපියල් 500 ගාණේ ලැබුණත්, 2001 ආණ්ඩුව ආවට පස්සෙ ඒකත් නැවතුණා.
රංජිත්ගේ අතුරුදහන් වීම ගැන උසාවියේ නඩුවකුත් තිබුණා. ඒකෙනුත් කිසිදෙයක් නම් උනේ නෑ.
රංජිත්ගේ බිරිඳටත්, දරුවො දෙන්නටත් , රංජිත්ගේ අතුරුදහන් වීමෙන්, බොහෝ දුක් අමාරුකම්, කරදර වලට මුහුණ පෑමට සිදුවුණා.

S. H. විමල්සිරි සහ S. H. වසන්ත

අතුරුදහන් දිනය 27/07/1989
අතුරුදහන් ස්ථානය මාතර, දික්වැල්ලේ දි

නිමල් පත්මසිරි

අතුරුදහන් දිනය 19/01/1990
අතුරුදහන් ස්ථානය නුවර

සුනිල් ජයලත්

අතුරුදහන් දිනය 13/01/1990
අතුරුදහන් ස්ථානය ගෙලිඔය ගොඩපොල නිවසේ දී

මම සුනිල් ජයලත්ගේ අක්කා, කොන්සි සෂේන් ජයලත්. එයා මගේ පස්වෙනි මල්ලී. සාමාන්‍ය පෙළින් පස්සේ මල්ලි පොඩියට ව්‍යාපාර කරන්න ගත්තා. මගේ තාත්තා වෙද මහත්තයෙක්. පවුලට හිටිය එකම ගැණු ළමයා මම. අපිට ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණා. අපි ජීවත්වුනේ ගෙලිඔය ගොඩපොල ගමේ.
1989/1990 කාලය බොහෝම භීෂණ කාලයක්. තරුණ ළමයි කෑලි කපලා මරලා පාරේ අයිනේ දාලා තියෙනවා බස් එකේ යන කොට මම දැකලා තියෙනවා. 1990.01.13 ඉඳලා අපේ ගෙදරත් එහෙම් පිටින්ම වෙනස් වුණා. දොළොස් වෙනිදා රෑ 12ට විතර පේරාදෙණිය පොලීසියේ පිරිසක් අපේ ගෙදරට ආවා. ඒ එක්ක ආව ගමේ අය දෙන්නෙක් අපි අඳුනගත්තා. එක්කෙනෙක් මල්ලි එක්කම හිටපු මල්ලිගෙන් උදව් ගත්ත කෙනෙක්. ගේ ඇතුළට ඇවිල්ලා ගෙදර සේරටම ඇවිත් ඉදගන්න කිව්වා. එතකොට මගේ මල්ලී ඇවිත් ඉදගන්න ලැස්ති වෙනකොට එයාව අතින් අල්ලගෙන එක්කරගෙන ගියා. මල්ලි ගැන මුකුත්ම අපි දන්නේ නැහැ.
ඒ කාලේ මේවා ගැන කියන්න කෙනෙක්වත් අපි කියනදේ අහන්න කෙනෙක්වත් හිටියේ නැහැ. අපේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවුණේ ඒ දුකෙන්මයි. මම හිත හදාගත්තේ හුඟාක් අමාරුවෙන්. මල්ලී වෙනුවෙන් කරන්න අපිට දෙයක් නැති හන්දා මගේ මිතුරියක් වන ජයන්ති දන්දෙණීය එක්ක අතුරුදහන්වූවන් වෙනුවෙන් කතා කරන්න අපි එකතු වුණා. තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුණු අය හැර මේ වගේ කතා කරන කවුරුවත් මට මුණ ගැහිලා නැහැ. නැතිවුණ අයගේ ගම්වල අය, හාමුදුරුවරු, ෆාදර්ස්ලා ඔය කවුරුවත් කතාකරලා නැහැ. නමුත් 1994 වර්ෂයේදි රු. 25,000 වන්දි මුදලක් නම් හම්බ වුණා මරණ සහතියකක් එක්කම චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ දී. අපි කොහොමද මල්ලි මැරුණයි කියලා පිළිගන්නේ. අපි දැක්කේ නැහැනේ?

බී. හේමන්ත අජිත් චන්ද්‍රසිරි

අතුරුදහන් දිනය 12/10/1989
අතුරුදහන් ස්ථානය හොරගල්මුල්ල නිවසේ දී

මගේ පුතා හේමන්ත අජිත් චන්ද්‍රසිරි, අතුරුදන් වන විට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.
1989 ඔක්‌තෝබර් 12 වැනිදා විශ්වවිද්‍යාල වහලා තිබුණු නිසා මගේ පුතායි බිරිඳයි හොරගල්මුල්ල අපේ ගෙදර හිටියේ. සවස 4.30 ට පමණ ඔවුන් ගෙවත්තේ වැඩ කරමින් සිටියදී දෙදෙනෙකු පැමිණ ඔවුන්ට ලිපිනයක් සොයා ගැනීමට ඔහුගේ උදව් අවශ්‍ය බව පවසා මගේ පුතාව ඉල්ලලා තිබුණා. ඔහු ලිපිනය නොදන්නා බව පැවසූ නමුත් ඔහුට ඔවුන් සමඟ එන ලෙස බල කරලා. ඔහු එය ප්‍රතික්ෂේප කළත්, ඔවුන් දෙදෙනා අපේ පුතාව රැගෙන යාමට උත්සාහ කරන විට මගේ බිරිඳ උදව් ඉල්ලා කෑ ගහලා තියෙනවා. එවිට එක් අයෙක් මගේ බිරිඳ බිය ගැන්වීමට පිස්තෝලයක් ඇද හේමන්තව ජීප් රථයකට තල්ලු කරලා. ඔවුන් ඔහුව ඇතුළට තල්ලු කරන විට, ඔහු ඒ මිනිසුන් ඔහුගේ විශ්වවිද්‍යාලයයේ ඔහුගේ පාර්ශවයට විරුද්ධ ශිෂ්‍ය සංගම් සිසුන් බවට කෑ ගහලා තියෙනවා. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා මගේ බිරිඳ ඔවුන් පිටුපසින් දිව ගොස් තිබුණා. අසල්වැසි පිරිමි ළමුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ඔවුන් පසුපස හඹා යාමට උත්සාහ කර ඇති නමුත් මාර්ගයෙන් තවත් ඉහළ හංදියක දී ඔවුන්ව මඟහැරී තියෙනවා.
මේ සිද්ධිය වෙද්දී මම ගෙදර හිටියේ නැහැ.
මේ සිද්ධිය අහලා මම ගෙදරට එනකොට අපියි අසල්වැසියෝ ටිකයි හේමන්තව හොයන්න පටන් ගත්තා. මගේ ලොකු පුතා දිවුලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළත් ඔවුන් කිසිම පරීක්ෂණයක් කළේ නැහැ. තුරඟ තරග පිටිය, නයිවල, බූස්ස වැනි යුද හමුදා කඳවුරු කිහිපයකටම අපි ගියා. නමුත් ඒ සෑම අවස්ථාවකදී ම “ඒ නමින් කවුරුත් මෙහේ නෑ” යන පිළිතුර විතරයි අපට ලැබුණේ. අපේ ඥාතීන් එස්සැල්ලට ගිය අතර එහිදී මළ සිරුරු සහ පිළිස්සුණු සිරුරු එක දිගටම වළකට දැමූ නමුත් අපට පුතා ගැන අහන්නට හෝ ඔහුව හමු වූයේ නෑ. කෙසේ වෙතත් මගේ පුතා පැහැර ගැනීමට යොදාගත් ජීප් රථයේ හිමිකරු අපි සොයාගත්තා. ඔහුගේ වාහනය හමුදා නිල ඇඳුමින් හා සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයින් පිරිසක් රැගෙන ගිය අතර දින කිහිපයකට පසු නැවත ගෙනත් දුන් බව ඔහු හෙළි කළේය.
1994 දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ලියන ලද ලිපියක් මට හමු වුණා. ඔහු එහි විස්තර කරලා තිබුණේ මගේ පුතා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මගේ පුතා ආරම්භයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නමුත්, පසුව ඔහු පක්ෂයේ අරමුණු සහ හැසිරීම පිළිබඳ දැඩි විවේචකයෙකු බවට පත් වූ බවයි.
චම්පික ඔහුගේ ලිපියේ ලියා තිබුණේ මගේ පුතා පැහැරගෙන ගොස් ඇති බව දැනගත් පසු ඔහුට මගේ පුතාව සොයා ගැනීමට අවශ්‍ය වූ බවයි. පැහැරගැනීමේ පුවත සැලවූ පසුදා, කොළඹ හාමුදුරුනමක් බැහැදකින්නට ගොස් මගේ පුතා ගැන සොයා බැලීමෙන් පසු චම්පිකවද පැහැරගෙන ගොස් වධකාගාරයක් ලෙස ක්‍රියාත්මක වූ කොළඹ විශ්වවිද්‍යාලය තුළ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටියේය. වරක් හේමන්තගේ කටහඬ සමාන වෙනත් රැඳවියෙකු අමතන හඬ ඇසුනත් චම්පිකගේ දෑස් බැඳ සිටි නිසා ඔහුට හේමන්තව දෘෂ්‍යමානව හඳුනාගත නොහැකි වූ බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබුණා. එහි රඳවාගෙන වධහිංසා පමුණුවන ලද IUSM කැඳවුම්කරුවෙකු වන තවත් රැඳවියෙකු වූ සරත් විජේවර්ධන චම්පිකට පවසා ඇත්තේ එම කඳවුරේදී හේමන්ත ඔහුගේ ඇස් ඉදිරිපිටම ගෙල කපා මරා දැමූ බවයි.
කෙසේ වෙතත්, මගේ බිරිඳ සහ මම අපේ බලාපොරොත්තුව මතම රැඳී සිටියා. භීෂණ සමය අවසන් වූ පසු අතුරුදහන් වූවන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අනුස්මරණ උත්සවයකට සහභාගී වූ විට, සරසවියෙන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ අපේ පුතාගේ ඡායාරූපයක් දැකීමෙන් අපි දෙදෙනාම ක්ලාන්ත වුණා. මගේ බිරිඳ රෝහලට ගෙන ගොස් පැය දෙකකට පමණ පසු ආපසු පැමිණි නිසා එහි සිටි චම්පික හමුවීමේ අවස්ථාව අපට මග හැරී ගියා.

අපේ පුතා වධකාගාර කඳවුරේ සිටි කාලය ගැන වැඩි විස්තර අපට ලබා දිය හැකි අය සම්බන්ධ කර ගැනීමට අපට කිසිදා නොහැකි වුණා. ඒ නිසා අපේ පුතාව ඝාතනය කළා කියලා අපිට විශ්වාස කරන්න සිද්ධ වුණා. සිද්ධියෙන් පසු සෑම රජයක්ම අපගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වුණා. අපේ පුතාව මැරුවේ කවුද? අතුරුදහන් කළේ කවුද? වයස අවුරුදු 26 ක් වූ අපේ දරුවා ඔවුන් මරා දැමුවේ හෝ අතුරුදහන් කළේ ඇයි?

ප්‍රකාශය: හේමන්ත අජිත් චන්ද්‍රසිරිගේ පියා වන බී කරෝලිස් සිල්වා.

සුගත් වීරසිංහ සහ ප්‍රදීප් කුමාර වීරසිංහ

අතුරුදහන් දිනය 19/09/1989
අතුරුදහන් ස්ථානය වේයන්ගොගොඩ බණ්ඩාරනායක මාවතේ නිවසේ දී

මම ආරියවතී. මට කියන්න තියෙන්නේ අවාසනාවන්ත කතාවක්. මට පුතාලා තුන් දෙනෙකුත් දූවරු දෙන්නෙකුත් හිටියා. මහත්තයට ස්ථිර ආදායමක් නැති හන්දා මම ජෝර්දානයේ ගෘහ සේවිකාවක් විදිහට වැඩට ගියා. දරුවෝ බලාගත්තේ මහත්තයා. අපි ගම්පහ වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ හිටියේ.
1989.09.19 හමුදාවෙන් ගෙදරට ඇවිත් මගේ ලොකු පුතා ප්‍රදීප් කුමාර වීරසිංහට කතා කළා. ඒ මිනිස්සු ඇවිල්ලා කතා කළහම රමණි - මගේ ලොකු දුවට කතාකරලා දොර වහ ගන්න කියලා පුතා ඒ මිනිස්සු එක්ක ගිහින් තිබුණා. ගෙනියන්න හේතුවක්වත් ගෙනියන්නේ කොහාටද කියලාවත් කියන්නේ නැතුව නිදාගෙන හිටපු ළමයව ඇහැරවලා අරන් ගිහින් තිබුණෙ. හමුදාවෙන් කියලා විතරයි අපිට හිතාගන්න පුලුවන් වුණේ.
මගේ දෙවෙනි පුතා සුගත් වීරසිංහ බස් කොන්දොස්තර කෙනෙක් විදිහට වැඩ කරමින් හිටියා. බස් එකේ නිදාගෙන ඉන්නැද්දි හමුදාවෙන් ඇවිල්ලා ගෙනිච්චා කියලා විතරයි අපි දන්නේ. ඒවට උදවු කරපු එක්සත් ජාතික පක්ෂයේ අය, ගමේ මිනිස්සු අඳුනගෙන තිබුණා. මගේ ළමයි ගෙනියන්න මූලික වුණු සෙල්ලදොරේ මට මුණ ගැහුණහම පස්සෙ කාලෙක මම මූණටම ඇහුවා. එයාලගේ ගෙවල් වලට ජනතා විමුක්ති පෙරමුණෙන් කරන විදිහට විහිළුවට කරපු දෙයක් හන්දා තරහින් හිටිය බව ගමේ අය කිව්වා. වෙන කිසි වැරැද්දක් අයියලා කළා කියලා නොදන්නා බව දැනුත් ලොකු දුව කියනවා. ඒත් පස්සේ කාලෙක ලොකු දුව කිව්වා ජනතා විමුක්ති පෙරමුණට වැඩකරපු අයියලා, පුතාලා දෙන්නට හිතවත්ව හිටිය බවත්. උදවු කරපු බවත්, පුතාලව ගෙනියන්න උදවු කරපු කෙනෙක්ව ජනතා විමුක්ති පෙරමුණෙන් මරපු දවසක අයියව මැරුව පළිය අපි ගත්තා කියලා දුවට කිව්ව බවක්. ඒ නිසා අපි නොදැනුවත්ව පුතාලා ඒ පක්ෂෙට වැඩ කළාද දන්නේ නැහැ.
අපිට 1994 දි එක්කෙනෙක්ට රු. 15,000 ගානේ රු. 30,000 වන්දි විදිහට ලැබුණා. මහින්ද රාජපක්ෂ, වාසුදේව මහත්තුරු අතුරුදහන්වූවන් ගැන කතා කළාට අපිට කිසි උදව්වක් ලැබිලා නැහැ. 2019 දී මුදල් වෙන්කළ කතාවක් මිසක් මුදල් ලැබුණේ නැහැ.
දැන් පවුලේ ඉතුරුවෙලා ඉන්නේ මමයි දුවලා දෙන්නයි එක පුතයි. මුල් කාලයේ තිබුණ තරහවට අපි ආගම ගැන හිතලා හිත හදාගෙන ඉන්නවා. අපේ පුතාලට කරපු අපරාධවලට මූලික වුණ අයට ප්‍රථිපලත් ලැබිලා තියෙනවා. මහ ලොකු මිනිස්සු පාරවල් වල මැරිලා තියෙන්නේ.

ධර්මසිරි ප්‍රසන්ත

අතුරුදහන් දිනය 08/08/1989
අතුරුදහන් ස්ථානය කෝට්ටේගොඩ පන්සල

මගේ පවුලේ මමයි මගේ මහත්තයයි දරුවන් හතර දෙනයි.වැඩිමල්ම දරුවා සුදත් ප්‍රසන්ත.හැමදාම උදේට ලමයි මූදට යන්න යනවා,ඊට කලින් අපේ අම්මලාගේ ගෙදරට යනවා පුරුද්දක් විදිහට.එතනදි තමයි හමුදාවෙන් අල්ලන් තියෙන්නේ.මට ආරංචියක් ආවා පුතාට කරදරයක් කියලා මම මාතර දික්වැල්ල පැත්තට දුවගෙන ගියා.එතනදි මට මිනිස්සු කියුවා මගේ පුතාට හොදටම ගහලා පොල්ලක බැදලා ඇරගෙන ගියයි කියලා.1989.08.06.හමුදාවේ කන්ඩායමක් විසින් මගේ පුතාව උදේ 8ට විතර වැටලීමක් මගින් අතඩංගුවට අරගත්තා.අදවෙනකන් වත් පුතා ගෙදර ආවේ නෑ.පුතාගේ තත්තයි මමයි හොයන්න පුලුවන් හැම තැනකම හෙව්වා.ඒත් හමබවුණේ නෑ.

පොලීසියට පැමිණිලි කරා,කොමිසම් ගානේ කියා ඒත් වැඩක් නෑ.බූස්ස,අනුරාධපුර,මාතලේ,නුවර,හම්බන්තොට,රත්නපුර මේ හැම තැනකම තිබුණ හමුදා කදවුරු වල අපි ගිහින් බැලුවා ඒත් පුතා හිටියේ නෑ.
ඊට ටික දවසකට පස්සේ ධර්මසිරි මගේ දෙවෙනි පුතා,කෝට්ටේගොඩ පන්සලට ගියා බෝධිපූජාවක් තියන්න.මම පුතාට කියුවා මම එන්නම් ඔයා යන්න ‘’මද්දු’’ කියලා.මද්දු කියලා තමා අපි ගෙදරට කියන්නේ.මම පන්සලට යනකොට හාමුදුරුවෝ කියුවා එන්න එපා පන්සලේ වැටලීමක් කියලා.මගේ දෙවෙනි පුතාත් හමුදාවෙන් අරන් ගියා.අදටත් නෑ.

පහුවෙනිදා උදේම්ම මම බස් ඒකේ පිටත් වුණා දික්වැල්ලේ පොලීසියට යන්න.බස් එක මගක් දුරකට යනකොට ගොඩඋඩ ස්කෝලේ හරියෙදි හමුදාවෙන් නතර කරා.අපිව බැස්සුවා.බස් එකට යන්න කියුවා.මාත් එක්ක කිහිපදෙනෙක් ආවා පොලිසියට පැමිණිල්ලක් දාන්න.ඒත් අපිව බාරගත්තේ නෑ.මම ගෙදරට ආපහු එනකොට තුන්වෙනි පුතා ලාල් ප්‍රසන්තත් මරලා අරගෙන ගියා කියුවා.ඒක කියුවේ බයට කිතුල් ගහක නැගපු මනුස්සයෙක්.
මව සුමනාවතී.
ධර්මසිරි ප්‍රසන්ත

ජානක සමන් කුමාර

අතුරුදහන් දිනය 19/11/1989
අතුරුදහන් ස්ථානය පන්විල නිවසේ දී

ජානක සමන් කුමාර සහ චන්දිම හිමි (චමින්ද ශ්‍රීනාත් වීරසිංහ)
මට දරුවො දෙන්නෙක් හිටියා. වැඩිමලා ජානක සමන් කුමාර සහ බාලයා චමින්ද ශ්‍රීනාත්. චමින්ද පැවිදි බව ලැබූ නිසා ඔහුව ඇමතුවෙ චන්දිම හාමුදුරුවෝ කියලයි. අපේ පන්විල ගෙදරින් ඔවුන්ව පැහැරගෙන යද්දි ඔවුන්ගේ වයස පිලිවෙලින් 18 සහ 17.
1989 නොවැම්බර්19 වෙනිදා, රෑ 11 ට විතර අපි පොලීසියෙන් යැයි කියමින් දෙන්නෙක් අපේ ගෙදර දොරට තට්ටු කලා. දොර ඇරපුවාමයි අපි දැක්කෙ එතැන කට්ටියක් ඉන්න බව. ඔවුන් අපේ නිවසට කඩා වැදිලා, පුතාලා දෙන්නව අල්ලගෙන වාහනයක දාගෙන ගියා. අපිට ගෙයින් එලියට එන්න දුන්නේ නෑ.
මිනිත්තු කීපයකට පසු අපිට වෙඩි සද්ද කීපයක් ඇහුණා.
මගේ දරුවො දෙන්නට වෙඩි තිබ්බද කියල බයකුත් ඇති වුණා.
පසුව ආරංචි වුණා, අපේ අසල්වැසියෙකුගේ ගෙදර ළඟ, මගෙ දරුවො දෙන්නව දණගස්වලා, ඔවුන්ගෙ යාලුවන්ගේ නම් කියන්න කියලා බල කරලා තියෙනවා.
එදා රෑ අපේ ගමෙන් තව පස්දෙනෙක් අරගෙන ගිහින් තිබුණා. ටික කාලයකට පසු, ඒ ගෙනගිය අයගෙන් දෙදෙනෙක් ආපහු ගමට ආවා.
මේ පැහැර ගැනීමෙන් දවස් 10 කට විතර පස්සේ, හිස නැති මලසිරුරක් අපේ කඩේ ලඟ දාල තිබුණා. ඒ පුද්ගලයට දවස් 7 ක පමණ පොඩි දුවක් හිටියා. අපේ ගමේ මේ විදියට තව කීපදෙනෙක් ඉතා කුරිරු ලෙස මරා දාල තිබුණා. සමහරු කිව්වේ ඒවා JVP එකේ වැඩ කියලයි.
මම පන්විල පොලීසියට සහ හමුදා කඳවුරු බලන්න කිහිප වතාවක් ගියා. 1990 දී පොලීසිය මගේ පැමිණිල්ල සටහන් කරගත්තා. නමුත් පුතා ගැන කිසිදු තොරතුරක් හම්බවුණේ නම් නෑ.
මේ පැහැර ගැනීම සිදුවීමට දවස් කීපයකට පෙර ජානක, බස් කොන්දොස්තර කෙනෙක් එක්ක පැටලිලා, ඒ කොන්දොස්තර ජනකට තර්ජනය කරල තියෙනව ""උඹ ජීවත් වෙන්නෙ තව දවස් තුනයි"" කියලා.
මේ සිද්ධිය නිසා මට හිතුන මගේ දරුවන් අරන් ගියේ JVP එකෙන්ද කියලත්. ඒ කාලෙ ඒ වගේ දේවලුත් සිදුවුණ නිසා.
අනිත් පැත්තෙන්, එකවර දරුවො හත්දෙනෙක් ජීප් එකක දාල අරන් ගිය නිසා ආණ්ඩුවේ හමුදාවන් කෙරුවද කියලත් හිතුණා.
මම තවම හරියටම දන්නෙ නෑ, මගේ දරුවො තවම ඉන්නවද, නැද්ද කියලා. ආණ්ඩුව මට රුපියල් 30,000ක් සහ මරණ සහතික දුන්නා. මම ඒ මුදල හාමුදුරුවෝ කෙනෙක්ට පරිත්‍යාග කලා.
මගේ දරුවන්ට සිදුවුන දේ නොදැන මේ රටේ තවත් ජීවත් විය යුතුද?

ප්‍රකාශය - ජානක සමන් කුමාර සහ චන්දිම ස්වාමීන් වහන්සේගේ මව අශෝකා වීරසිංහ

ලිච්චොවී නිශාන්ත වීරසිංහ

අතුරුදහන් දිනය 16/11/1989
අතුරුදහන් ස්ථානය වත්තේගම මද්දුමබණ්ඩාර මධ්‍ය මහා විද්‍යාලය අසල දී

1989 දී දකුණේ සෑම තැනකම වගේ පාසල් සිසුන් කොළඹ පාසල්වලට සාපේක්ෂව ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක බව ගැන පාරට බැහැලා උද්ඝෝෂණ කළා. 1989 නොවැම්බර් 16 වෙනිදා මගේ පුතාගේ පාසලේ සිද්ධියක් වෙලා තියෙන අතර ඔහු නිල ඇඳුම ඉරාගෙන නිවසට ආවා. මම ඔහුට නැවත පාසලට යන්න එපා කියලා ඉල්ලා හිටියත් ඔහු පහුවදා ගියා.
සාමාන්‍යයෙන් හවස 2ට විතර පුතා ගෙදර ආවත් එදා ගෙදර ආවේ නැහැ. මගේ පුතා වත්තේගම මද්දුමබණ්ඩාර මධ්‍ය මහා විද්‍යාලය අසල පැවති රැලියක දී තැඹිලි පාට වාහනයකින් පැමිණි පොලීසියේ පිරිසක් විසින් පැහැරගෙන ගිය බව මට දැනගන්න ලැබුණා. පසුව මම ඉක්මනට පොලීසියට ගිහින් තැඹිලි පාට වාහනයක් හොයාගත්තත් පොලිසිය මට කිව්වා පුතා පොලීසියේ නෑ කියලා. ඒ ආරංචිය දැනගත්තු ගමන් මගේ මහත්තයත් ගෙදර ආවා. අපි දෙන්නාම ආයෙත් පොලිසියට ගියා. කාටවත් පොලීසියට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් තිබූ නිසා, අපේ පැමිණිල්ල සටහන් කර ගැනීමට ඔවුන් කටයුතු නොකළ නිසා අපට පොලීසියට ඇතුළ් වෙන්න දුන්නේ නෑ. අපිට පොලීසිය ළඟ ඉන්න දුන්නෙත් නෑ කුණුහරපෙන් බැනලා එළෙව්වා.
දෙසැම්බර් 5 වැනිදා සහකාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ඇතිව අපි පොලිස් පැමිණිල්ලක් ගොනු කළා. සැරයන් ලොකුබණ්ඩා පොලිස් පැමිණිලි පොතේ නැතිව කොල කෑල්ලක තමයි මගේ ප්‍රකාශය සටහන් කරගත්තේ. මම මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු මට බැන්නා ඔහුගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. කොහොම වුණත්, මම ගෙදර ගිහින් මගේ දිනපොතේ සිදුවීම ලියා ගත්තා.
පසුව රියැදුරෙක් මට කිව්වා ඔහු ළමයි කිහිප දෙනෙක් පොලිසියේ සිට පල්ලෙකැලේ කඳවුරට අරන් ගිය බව. එයා මගේ පුතාව අනිත් ළමයි එක්ක ඉන්නවා දැකලා තිබුණා. අපි පල්ලෙකැලේට ගියත් ඒ නමින් කෙනෙක් නෑ කියලා හමුදා නිලධාරීන් අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. අපි අනෙක් කඳවුරුවලටත් ගියත් වැඩක් වුණේ නැහැ.
මාව ජනාධිපති කොමිසමට කැඳෙව්වාම පොලිසියේ පැමිණිල්ලේ පිටපතක් ඉදිරිපත් කරන්න කිව්වා. කොහොම වුණත්, මම පිටපතක් හොයාගන්න උත්සාහ කළත්, පොලීසියෙන් පැමිණිල්ල සටහන් කරගෙන නැති බව මට දැනගන්නට ලැබුණා. වසර පහකට පස්සේ, මම මගේ දිනපොත සොයාගෙන පළවෙනි පාරට විධිමත් විදියට පොලිස් පොතේ පැමිණිල්ලක් ගොනු කරා.
මාස කීපයකට පස්සේ අපේ ගමේ ප්‍රියන්ත සෝමසිරි කියලා කෙනෙක් තරහින් කිව්වා මගේ පුතාව පැහැරගෙන යන්න එයා උදව් කළා කියලා. ඔහු ඒ වන විට බීමත්ව සිටි අතර මගේ පුතාගේ සපත්තු දෙක පැළඳගෙන හිටියා. මම ඔහු ගැන පැමිණිලි නොකළේ, ඔහු මගේ පවුලේ අනෙක් සාමාජිකයින්ට කරදරයක් කරයි කියලා මම බය වුණ නිසා. පුතාගේ අතුරුදන්වීම මගේ අනෙක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් බලපෑවා.
මම පොදුජන පෙරමුණට සහය දුන් නිසා එජාපයේ (එක්සත් ජාතික පක්ෂයේ) අය මගේ නිවස විනාශ කළා. මගේ දරුවා නැති කරලා එජාපය මගෙන් පළිගත්තා. අපිට රු. 15,000ක් ජනාධිපති කොමිසමෙන් ලැබුණා. මම ඒ සල්ලිවලින් බුදු පිළිමයක් හැදුවා. මට මගේ පුතා විතරක් නෙවෙයි එයාගේ සපත්තු ජෝඩුවත් නැති වුණා.

ප්‍රකාශය: නිශාන්ත වීරසිංහගේ මව ගන්නෝරුවේ ගෙදර සීලවතී

චමින්ද ලක්ෂ්මන් සේනානායක

අතුරුදහන් දිනය 16/12/1989
අතුරුදහන් ස්ථානය පූගොඩ මාමාගේ නිවසේ දී

I was a school principal. Like me, my children loved education. My son, Chaminda, used to stay at my brother-in-law’s house in Pugoda. On 16 December 1989, my brother-in-law who worked for the police called me and told me my son was abducted. We called a Member of Parliament and went to the police station to file a complaint. An officer asked us whether we had raised children to join the JVP. I refused that my son was involved with JVP. Then he opened a file, showed me a list of names suspected to be JVP supporters, and pointed to the name Chandana Senanayake. I reminded him that my son’s name was Chaminda and he said sorry and made a note. We searched for my son relentlessly. We informed the Member of Parliament in the area, Lakshman Jayakody, and wrote to the IGP and the UN’s Human Rights Commission. With the UN’s help, we received permission to visit a number of camps. Two days after my son’s disappearance, we visited the Assistant Superintendent of Police in Negombo. He asked us if the police were a benevolent God who could find lost children. We met another officer of the police, Kudahetti who told us that our search was fruitless and pointed to a White Van. Chaminda had been taken because his name appeared on a list. However, we persevered with our search. We did whatever we could, which included visits to soothsayers, also. Meanwhile, my children’s education and household concerns were abandoned. Where was Chaminda? Who took Chaminda? As there were no updates, we believed our son was killed. We re-visited the police station to obtain a copy of the complaint we made to receive his Death Certificate. However, we were told our complaint was lost. As an educator, I never joined any political party. I believe the UNP (United National Party) leaders in our local area must have mistakenly believed our son to be a part of the JVP (Janatha Vimukthi Peramuna). Near my school, there was a place where bodies were burned and the smoke reached the school premises. Sometimes we had to temporarily close the school to escape the smell of burning flesh.

Testimony by Francis Senanayake, Lakshman Senanayake’s father

සංජීව දීපාල්

අතුරුදහන් දිනය 18/12/1989
අතුරුදහන් ස්ථානය වේයන්ගොඩ නිවසේ දී

අපි සංජීව දීපාල්ගේ අම්මයි තාත්තයි. අපි හිටියේ ගම්පහ වේයන්ගොඩ. අපිට දුවලා දෙන්නෙකුත් හා පුත්තු දෙන්නෙකුත් හිටියා. 1971.10.10 වෙනිදා ලොකු පුතා ඉපදුණේ. එයා හොදට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඉවරවෙලා ප්‍රථිපල එනකල් නිකන් ඉන්න බැහැ කියලා තාත්තත් එක්ක මීරිගම වැඩපලට ගියා. ආවෙත් ගියෙත් තාත්තත් එක්කමයි. යාළුවෝ ඇසුරු කලෙත් නැහැ. 1989.12.18 දින රෑ 11 පමණ පොලීසියෙන් හා හමුදාවෙන් ඇවිල්ලා කටඋත්තරයක් ගන්න පුතාව ගම්පහ පොලීසියට ගෙනියන්න ඕනි කිව්වා. පුතා ගෙනියන්න දෙන්න බැහැ කියලා අපි දෙන්නම කෑගැහුවා. එතකොට කිව්වා කෑගහන්න එපා කටඋත්තරය අරගෙන උදේම ආපහු එක්කන් එනවා කියලා. තාත්තා එන්න ඕනි නැහැ කිව්වා. ඒත් පුතා තාමත් ගෙදර ආවේ නැහැ. පහුවදා ආවේ නැති හන්දා ගම්පහ පොලීසියටත්, එහාට ගෙනාවේ නැහැ කිව්ව හන්දා වේයන්ගොඩ, නිට්ටඹුව පොලීසි වලටත් අපි ගියා. ඒ අතරේ 1989.10.29 පොලීසියට පැමිණිල්ලකුත් දැම්මා. ඒත් පුතා හිටියේ නැහැ. පොලීසිවල නැති හින්දා දන්න අඳුරන අය හොයාගෙන හමුදා කඳවුරු වලටත් ගියා. කොග්ගල කඳවුරට, මහියංගන ගැමුණුපුර කඳවුරට, පොළොන්නරුව කඳවුරට, මින්නේරිය කඳවුරටත් ගියා. මේ තැන් වලට පුතාලගේ අම්මව එක්කන් ගියේ නැහැ. සමහර තැන්වල කතාබහ කරලා විස්තර කිව්වට තවත් සමහර තැන්වලදි මට හුඟාක් කරදර වුණා. ඒවා පුතාලගේ අම්මටවත් කිව්වේ නැහැ. මම ගිය හැම තැනකම ඒ වයසේ පුතාලා හිටියට මගේ පුතා හිටියේ නැහැ. සමහර කඳවුරුවල නම් ඉන්න අයගේ නම් ලැයිස්තු බලන්නත් දුන්නා.
ඊට පස්සේ අතුරුදහන්වීම ගැන විවිධ ආයතනවලට පැමිණිලි කළා. 1994 දී ජනාධිපති විමර්ශන කොමිසමේදි අපිව කැඳවලා විස්තරත් අහ ගත්තා. චන්ද්‍රිකා මැඩම් අතුරුදහන්වීම් ගැන විශේෂයෙන් සොයා බලන බව කිව්වා. මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කළා. 2019 දී අතුරු දීමනාවක් විදිහට මියගිය කෙනෙකුට රු. 6,000 ගාණේ අයවැයෙන් වෙන්කළ බව දැනගන්න ලැබුණා. ඒත් අපිට තාම ඒක හම්බවුණේ නැහැ. 1994 දී රු. 15,000 වන්දියක් නම් හම්බ වුණා මරණ සහතිකේ සමඟ. අපේ පුතා වටින්නේ රු.15,000 ද?
පුතා අතුරුදහන් වෙනකොට අවුරුදු 21ක්වත් නැහැ. පුතා මැරුණු බව පිළිගන්න මගේ නෝනා, ඒ කියන්නේ දීපාල්ගේ අම්මා ලැස්ති නැහැ. එයා කොහේහරි ඇති. අපේ පුතා කිසි වරදක් කරලත් නැහැ. අහළ පහළ මිනිස්සු අපි දියුණුවෙනවට ඊරිසියාවට කරපු පළි ගැනීමක්. පොඩි පුතාගේ රැකවරණෙන් ලොකු පුතා එයි කියලා බලාපොරොත්තුවෙන් අපි ජීවත් වෙනවා.

යු. පී. විමලනාථ

අතුරුදහන් දිනය 15/12/1989
අතුරුදහන් ස්ථානය මීරිගම, බොරුක්ගමුව නිවසේ දී

මගේ තාත්තගේ නම යූ.පී. විමලනාථ. අපි හරි ලස්සන පවුලක්. මමයි අම්මයි, නංගියි, තාත්තයි හරිම සතුටින් ජීවත් වුණා. ඒත් පස්සේ කාලෙකදි ආර්ථික ගැටළු නිසා අම්මා විදේශ ගත වුණා අපිව ජීවත් කරවන්න. අපේ අම්මා එවන සල්ලි අරපිරිමැස්මෙන් තාත්තා පාවිච්චි කරනවා මතකයි මට. එයා අපිට කිසිම විදිහකින්වත් අඩුපාඩුවක් කළේ නැහැ. අම්මා එවන සල්ලිවලට අමතරව තාත්තා කඩයක් දාගෙන හිටියා. ඒකෙනුත් ආදායමක් අපිට ආවා. අම්මා ළඟ නැති වුණත් තාත්තා අපි ගැන හොයලා බැලුවා.
අපි හැමෝම 1989.12.15 දිනයේ රෑ ගෙදර නිඳාගෙන හිටියා. එකපාරටම රෑ ගෙදර දොරට තට්ටු කරන සද්දයක් මට ඇහුණා. ඒ එක්කම තාත්තා නැගිටලා ගිහින් දොර ඇරියා. තාත්තා දොර අරිනවාත් එක්කම හමුදාවෙන් අපේ ගෙදරට ඇතුල් වුණා. එතන හය හත්දෙනෙක්ගේ පිරිසක් හිටියා. එයාලා තාත්තගෙන් නම් ඇහුවා. මොනවද කරන්නේ කියලත් ඇහුවා. තාත්තා ඒ ඔක්කොටම ඇත්ත කිව්වත් ඒයාලා මගේ තාත්තව එළියට අරගෙන ගියා. ඒ එක්කම අපිත් එක්ක ගෙදර හිටිය නෑදෑවෙන අයියකෙනෙකුත් අරගෙන ගියා. අපි හොඳටම බය වුණා. මම අඬනකොට එතන හිටිය කෙනෙක් කිව්වා අඬන්න එපා තාත්තව ඉක්මනට ගෙනත් දෙන්නම් කියලා. එහෙම කියලා තාත්තවයි අයියවයි අරගෙන ගියා. මායි නංගියි ඒ පස්සෙන්ම ගියා. ලොකු හමුදා ලොරි කිහිපයක් නවත්තලා තිබුණා. එතනට කිට්ටු වෙනකොටම කෙනෙක් කිව්වා මුන්ගේ ඇස් බැඳපල්ලා කියලා. ඊට පස්සේ ඒ අය අපේ තාත්තවයි අයියවයි වාහන දෙකකට දාගෙන අරගෙන ගියා.
අම්මත් ළඟ නැති අපි ජීවත් වුණේ ආච්චිඅම්මගේ පිහිටෙන්. තාත්තා නැතිවෙනකොටම අපෙ අම්මටත් කුවේට්වල දී හුඟාක් කරදර වුණා. අම්මට සල්ලි එවාගන්න බැරි වුණා. ඒ නිසා අපි ගොඩාක් දුක් වින්දා. කොහොමහරි අම්මා ලංකාවට ආවට පස්සේ තාත්තව ඒ අයියවයි හොයන්න සෑහෙන්න මහන්සි
වුණා. ඇය මීරිගම, අනුරාධපුර, ගාල්ල, මාතර, සහ කොලඹ හමුදා කදවුරු කිහිපයකටම ගියා. ඒත් තාත්තා ගැනත් අයියා ගැනත් කිසිම තොරතුරක් හම්බවුණේ නැහැ.1996 දි අපිට රු.50000ක වන්දි මුදලක් හම්බ වුණා තාත්තා වෙනුවෙන්. වන්දි හම්බවුණාට තාත්තව හෝ අයියාව හම්බවුණේ නැහැ.

මයිකල් එඩ්වඩ්

අතුරුදහන් දිනය 04/09/1989
අතුරුදහන් ස්ථානය R.B 18 - මාලිගාවත්ත නිවසේ දි

සමන්ත කල්‍යාණ

අතුරුදහන් දිනය 09/10/1989
අතුරුදහන් ස්ථානය දිවුලපිටිය පොලීසියේ දී

තනිකඩ මවක් ලෙස, මම මගේ දරුවන් දෙදෙනා ඇති දැඩි කළේ සියදිවි නසාගත් මගේ සැමියාගේ විශ්‍රාම වැටුපෙන්. 1989 ඔක්තෝබර් 9 මගේ දුවගේ දහතුන්වන උපන්දිනය වූ අතර මගේ දරුවන්ගේ මිතුරන් බොහෝ දෙනෙක් උත්සවය සඳහා අපේ නිවසට පැමිණි‍යා. කොහොමහරි එදා රෑ මගේ පුතාව අතුරුදන් වුණා. ඒ වෙනකොට එයාගෙ වයස 14ක් ඇති.
සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් 10ක වගේ පිරිසක් , පොලීසියේ අයත් සමග තුවක්කුත් අපිට එල්ල කරගෙන අපේ ගෙදරට රෑ කඩාපැන්න. ඒ අය මගේ පුතාගෙන් ප්‍රශ්න අහලා, ඔහුගෙ ඇඳුම් ගලවලා පරීක්ෂාත් කලා. අපේ පවුලේ විස්තරත් එයාගෙන් ඇහුවා. මම මොකද මේ කියල ඇහුවාම, දිවුලපිටියේ පොලීසියෙන්ය, පුතාව අරගෙන ගිහින් ප්‍රශ්න කරලා ආපහු එවනවා කියලා පොරොන්දු වුණා. මාත් එක්ක කතා කර කර ඉද්දි මම දැක්කා මගේ පුතාව ඇදගෙන ගිහිල්ලා, ගේ පිටුපස නවතා තිබූ වාහනයකට එයාව දාගන්නවා. පුතාගෙ ඇස් බැඳලා, අත් පිටිපස්සට තියලා ගැට ගහලයි තිබුණේ.
පහුවදා උදේ වෙද්දිත් පුතා ගෙදර ආවේ නැති නිසා, මම දිවුලපිටිය පොලීසියට ගියා. එත් මගේ පුතාව මට පෙන්නුවේ නෑ.
ඊට සති දෙකකට පස්සේ පුතාව ගෙනියන්න ආපු කීපදෙනෙක්ව මම දිවුලපිටිය හන්දියේ දී දැක්කා. මට හොඳටම බයත් හිතුණා.
මම පොලීසියට ගිය හැමවතාවෙම, ඒ අය මට කිව්වේ, පුතා හොඳින් ඉන්නවා, ඉක්මනටම ගෙදර එවනවා කියලයි. පොලීසියේ පැමිණිලි දාන්න මට ඉඩක් දුන්නෙ නෑ.
පුතාව හොයාගෙන මම හමුදා කඳවුරු ගණනාවකට ගියා. ජනාධිපති ප්‍රේමදාස මහත්මයාව මුණගැහුණා. රතු කුරුසෙට, ජනාධිපති කොමිසමට පැමිණිලි කළා.
මේ එකකිවත් පලක් වුණේ නෑ. ඔහු නිකන් සුළඟට ගහගෙන ගියා වගේ.
අවසානයේ මට ලැබුනෙ මරණ සහතිකයකුයි රුපියල් 15,000කුයි විතරයි.
මගේ පුතාගේ ජීවිතය රුපියල් 15,000කට සමානද? මගේ පුතාට මොකද වුණේ? රජය මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ඉඩ දුන්නේ ඇයි?

ප්‍රකාශය - සමන්ත කල්‍යාණගේ මව නාලිනී උපමාලිකා

පියල් පුෂ්ප කුමාර

අතුරුදහන් දිනය 20/11/1989
අතුරුදහන් ස්ථානය කළුතර, පයාගල නිවසේ දි