වැරැද්දක් කරල තිබුණත් දඬුවමක් හැටියට අතුරුදහන් කරන්න පුළුවන් ද ?
මගේ සැමියා ලී සපයන කොන්ත්‍රාත්කරුවෙක්. 1971 දි ඔහු JVP එකට සම්බන්ධ වී සිටියත් 1989 දී ඒ සම්බන්ධකම් තිබුණේ නෑ.
1989 ඔක්තෝබර් 9 වෙනිදා, පාන්දර 6.30 ට පමණ, අංක තහඩු රහිත හමුදා ජීප් එකක් අපේ ගෙදරට පැමිණියා. ඒ ජීප් එක ඇතුළේ මගේ මහත්තයාගේ යාලුවෙකුත් හිටියා. මගේ මහත්තයා ගැන අහලා, අපේ ගේ ඇතුළත් පරීක්ෂා කළා. මහත්තයා ඒ වෙලාවේ කඩේට ගිහිල්ලා හිටියේ. ඊට පසු මගේ මහත්තයව හොයාගන්න කියලා, ඒ වෙලාවේ ගෙදර හිටපු, මහත්තයාගේ මල්ලි, රාජකරුණාව ජීප් එකේ බලහත්කාරයෙන් දාගෙන ගියා. පස්සේ මහත්තයාගේ මල්ලි මට කිව්වා, මගේ මහත්තයාව පාරෙදි හම්බ වුණාම, මල්ලිව බස්සලා, මහත්තයාව දාගෙන ගියා කියලා.
ඒ ගමන්ම අපි වත්තේගම පොලීසියට ගියා. නමුත් අපට මගේ සැමියාව එහිදී හොයාගන්න බැරි වුණා. අපි පැය දෙකක් පොලීසියේ රැඳී සිටියා සැමියාව රැගෙන ගිය ජීප් එක එනවාද කියලා බලන්න. මගේ යාලුවෙක් වන චිත්‍රා කිව්වා ඒ ජීප් එක නුවර හමුදා කඳවුර පැත්තට යනවා දැක්කා කියලා. චිත්‍රාගේ මහත්තයත් දැකලා තියෙනවා, කවුදෝ කෙනෙක් මහත්තයට බත් පැකට් එකක් අරන් දෙනවා. මම නුවර ආමි කෑම්ප් එකට ගිහිල්ලා, කඳවුර භාර ප්‍රධානියාව මුණගැහෙන්න ඉල්ලුවා, නමුත් ඒකට ඉඩ ලැබුණේ නෑ. කඳවුර ඉස්සරහ කඩේක හිටපු, සිවිල් අඳුමෙන් සැරසුණු හමුදා නිලධාරියෙක් මට බොහෝම කණගාටුවෙන් වගේ කිව්වා,""ඉහලින් ලැබුනු නියෝගයක් මත, මගේ මහත්තයව ගෙනියන්න ආවේ එයා බව"".
පසුව මට දැනගන්න ලැබුණා, මහත්තයාව ගෙනිහින් තියෙන්නෙ පල්ලෙකැලේ හමුදා කඳවුරට කියලා. කිහිපවතාවක් ඒ කඳවුරට ගියත්, මහත්තයා ගැන කිසිඳු තොරතුරක් නම් ලැබුණේ නෑ. වත්තේගම පොලීසියට ගිහිල්ලා, පැමිණිල්ලක් කළත්, ඒක හරියට ලියා ගත්තා ද දන්නේ නම් නෑ. මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගෙන්, මේජර් මෙන්ඩිස් නැමැති හමුදා නිලධාරියට ලිපියක් අරගෙන ගියත් ඒ නිලධාරියාවවත් හම්බවෙන්න නම් ලැබුණේ නෑ.
එහෙම ගිය දවසක, මට කඳවුර ලඟ හිටපු පුද්ගලයෙක් කිව්වා ""මගේ මහත්තයා, හමුදා නිලධාරීන්ට පහර දෙන්න ගිය නිසා, හමුදා නිලධාරීන් ඔහුට පහර දීම නිසා මහත්තයට අමාරුයි"" කියලා. මම ඒ ගමන්ම ලෝයර් කෙනෙක් එක්ක ගියහම, අපිට දැනුම් දුන්නා, ""මහත්තයව නිදහස් කරන්න තව කල් යයි"" කියලා.
මහත්තයාගේ වෙනත් යාලුවෙක් පසු දවසක මට කිව්වා, ඔහු සිල්වෙස්ටර් කෑම්ප් එකේ ඉද්දි මගේ මහත්තයත් එහි සිටි බව.
මාස තුනක් පමණ මම මහත්තයව හොයන්න උත්සාහ කළත්, කිසිදු තොරතුරක් ලැබුණේ නෑ.
මගේ මහත්තය JVP එකට හිතවත් වුණත්, JVP එකට සම්බන්ධ වුණේ නම් නෑ. මගෙ මහත්තයා, විරුද්ධ පක්ෂයේ SLFP එකේ රත්වත්තේ මහත්මයාට උදවු කරපු තරහට, UNP එකේ මන්ත්‍රී විජයසිරි, මහත්තයගෙන් පලිගන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ. ඒ කාලෙ මධ්‍යම පලාතේ හිටපු උඩුගම නැමැති උසස් පොලිස් නිලධාරියා, මේ අතුරුදහන් වීම් පිටුපස හිටිය කියලා කතාවක් තිබුණා. ඔහු සතුව මරාදැමිය යුතු අයගේ නම් ලැයිස්තුවක් තිබුන බවත්, කොල කොටි කණ්ඩායම මෙහෙව්වෙත් ඔහු කියලයි, කථාව තිබුණේ.
මම 1996 දි, ජනාධිපති කොමිසමට පැමිණිලි කලාම, මරණ සහතිකයකුයි, රුපියල් 50,000 කුයි ලැබුණා. ලැබුණු මාසික දීමනාව රුපියල් 500, 2001න් පසු නැවැත්වූවා. මහත්තයාගේ අතුරුදහන් වීම අපේ දරුවන්ගේ අධ්‍යාපනයට විශේෂයෙන් බලපෑවා.
මගේ මහත්තය ඇත්තටම වැරැද්දක් කරලා තිබුණා වුණත්, මේ විදියට අතුරුදහන් කරලා, දඬුවම් දෙන්න පුලුවන්ද?
ආණ්ඩුව මේ අතුරුදහන් කිරීම් වලට වගකිව යුතුමයි.
ප්‍රකාශය - ගිරඹේ ගෙදර සමරසිංහගේ බිරිඳ විදානගේ එල්සි වැලිකුඹුර