අතුරුදහන්වූවන්ගේ 34වෙනි වාර්ෂික අනුස්මරණය ඊයේ (ඔක්තොම්බර් 27) රද්දොළුවේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉස්සරහාපිට පැවැත්වූවා.
වෙනස පිළිගනිමු - සටන අත් නොහරිමු..!
ජනාධිපති අනුර සහෝදරය,
අතුරුදහන්වූවන්ගේ 34වෙනි වාර්ෂික අනුස්මරණය ඊයේ (ඔක්තොම්බර් 27) රද්දොළුවේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉස්සරහාපිට පැවැත්වූවා.
අතුරුදහන් පවුල්වල අම්මලා විදිහට අපි අනුර සහෝදරය ඔබට ආරාධනා පත්‍රය දෙන්න පක්ෂ කාර්යාලයට ගියා, එතනදී ටිල්වින් සහෝදරයා මුණගැහුණා. ආරධනා පත්‍රය භාර ගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයටත් ගියා, නිලධාරියෙක් ආරධනා පත්‍රය භාර ගත්තා.
අපි 1990 ඉදළා මේ අනුස්මරණ වැඩසටහන කරගෙන එන්නේ. ඒ කිසිම අවුරුද්දක අපි කිසිම ජනාධිපති කෙනෙකුට අපි ආරාධනා කළේ නෑ. මොකද ඒ සියලු දෙනාගේ අත්වල අපේ ආදරණීයයන්ගේ ලේ තැවරිලා තියෙනවා.
අපි පළවෙනි වතාවට තමයි මේ ජනාධිපතිවරයෙකුට අපේ වුණ්ගේ අනුස්මරණයට ආරාධනා කළේ. අනුර සහෝදරය, ඒ ඔබ නිසා. ඔබ දැන් අපේ ජනාධිපති නිසා.
ඊයේ ආපු අපේ අම්මලා 1000ක් විතර එක්කෝ එයාගේ මහත්තෙයා, නැතිනම් පුතා, දුව අතුරුදහන්. එක්කෝ මරාදාලා. ඔබ දන්නවා මේ දේ කළේ ප්‍රේමදාස රජයෙන්. අපේ ඒ ගොඩක් අය ජීවිත දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්, මේ අසාධාරණ ක්‍රමය වෙනස් කරලා යුක්තිගරුක සමාජයක් බිහි කිරීමේ පරම චේතනාවෙන්.
පහුගිය අවුරුදු 34ටම අපි ගැන කවුරුත් බැලුවේ නෑ. අඩුම තරමේ ජේවිපි එකවත් අපිගැන බැලුවෙ නෑ. ඒත් අපි කවදාවත් ඒකට පක්ෂෙ එක්ක අමනාප වුණෙත් නෑ.
අපි හිතුවා, අපි ගොඩක් බලාපොරොත්තු වුණා අනුර සහෝදරයා, ඔබ අපේ ආදරණීයයන්, ඔබේ ඒ සහෝදර සහෝදරයින් සිහි කරන්න අපිත් එක්ක එයි කියලා. ඇවිත් අපේ කතා අහයි කියලා. අපේ වේදිකාවට ගොඩවෙලා අපේවුණ් ගැන ඔබ කතාකරනවා අහන්න දකින්න අපි ආසාවෙන් හිටියා. ඒත් සහෝදරයා ඔබ ආවේ නෑ.
අපි දන්නවා සහෝදරයා, ජනාධිපති විදිහට ඔබට ගොඩක් වැඩ තියෙනවා. ඔබ කාර්ය බහුලයි. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජිතයෙක් එවලා තිබුණා. අපි ඒ සහෝදරයා ඔබ වෙනුවෙන් පිළි ගත්තා. ඒත් අපේ බලාපොරොත්තුව ඉටුවුණේ නෑ. කොච්චර වැඩ තිබුණත් මේ වැඩේදී අපේ වුණ්, නැතිවුණ ඒ ඔබේ සහෝදර සහෝදරයින්ට යුක්තිය සාධාරණය ඉටුකරන්න ඔබ ප්රමුඛස්ථානයක් දෙයි කියලා අපි හිතනවා. අනිත් රජයන් වගේ, පාලකයෝ වගේ අපි ගැන නොබලා ඉන්න එපා.
අපි මේ වැඩේ යුක්තිය ඉටුවන තුරා දිගටම ගෙනියනවා. ඔබේ කාලය තුළ ඉක්මනින් අපිට යුක්තිය ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මීට අතුරුදහන් පවුල්වල අම්මලා.