සිසුවිරුවන් ගැන සොයා ගිය අතුරුදහන්වූවන්ගේ අලුත් පරම්පරාව..
සිසුවිරුවන් ගැන සොයා ගිය අතුරුදහන්වූවන්ගේ අලුත් පරම්පරාව..
පේරාදෙණි සරසවි චාරිකාවේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව රෝහණ වීරසූරිය ස්මාරකය වෙත ගොස් සිසුවිරුවන් සිහිකළා. ශිෂ්‍ය අරගලවලට එල්ල කළ රාජ්‍ය මර්දනය නිසා ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක්වූ සිසුවිරුවන් පිළිබදව වත්මන් ශිෂ්‍ය පරම්පරාව සමග අදහස් හුවමාරු කරගැනීමට සහ අතුරුදහන් පවුල්වල දෙමාපියන්ගේ අත්දැකීම් ඔවුන් සමග බෙදාහදා ගැනීමටද අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 87-90 කාලය තුළ අතුරුදහන් වූ අපගේ පවුල්වල එම ආදරණීයයන් සහ ජ.වි.පෙ දෙවෙනි සන්නද්ධ අරගලය තුළ සිටි සිසු නායකයින් හා ක්‍රියාකාරීන්ගේ සමීපභාවය ගැනද මතක ආවර්ජනය කළා.
පළවෙනි ශිෂ්‍ය අරගලය පැනනැගුණේ පේරාදෙණිය සරසවියේ. ඒ රථගාලක් ලබාගැනීමට සහ ආහාර වේලට ලබාදුන් බිත්තර භාගය බිත්තරයක් දක්වා වැඩිකර ගැනීමේ ඉල්ලීම දිනාගැනීම වෙනුවෙන්. ඒ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය බිහිව තිබුණේ නෑ.
1975දී අන්තරේ බිහි කරන්නේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට, ශිෂ්‍ය සුබසාධනය ලබා ගැනීමට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව වඩාත් සංවිධානත්මකව සහ ශක්තිමත්ව මුහුණ දීමටයි.
ඒ වනවිටත් රාජ්‍ය මර්දනය සරසවි තුළට පැමිණ තිබූණා. 1976දී පේරාදෙණිය සරසවි භූමිය තුළ පොලීසියක් ස්ථාපිත කිරීමට මැතිණියගේ ආණ්ඩුව කටයුතු කිරීමේදී ඊට එරෙහිව දැවැන්ත ශිෂ්‍ය විරෝධයක් එල්ල වුණා. එම අරගලය විසුරුවා හැරීමට සරසවි භූමිය තුළට කැදවා සිටි පොලීසියට එරෙහිව සිසුන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඉදිරියට පැමිණ විරෝධය දැක්වීමේදී පොලීසිය තැබූ වෙඩි පහරකින් 1976.10.12 දින රෝහණ වීරසූරිය සහෝදරයා ඝාතනයට ලක්වුණා. අරගලය ජයගත් ශිෂ්‍ය ව්‍යාපාරය රෝහණ වීරසූරිය ඝාතනයට ලක්වූ ස්ථානයේ ඔහු අනුස්මරණය කිරීමට ස්මාරකයක් ඉදිකළා. අදටත් පේරාදෙණිය සරසවිය තුළ පොලිස් ස්ථානයක් දක්නට නොලැබෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ගෙනගිය එම ශිෂ්‍ය අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 627ක් පමණ පැවති රජයන් විසින් ඝාතනය කර තිබෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ මළ සිරුරු පවා හමු නොවූ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරුවකු වූ මිහොමඩ් නිෂ්මි 1990දී නුගේගොඩදී බලහත්කාරී ලෙස අතුරුදහන්කර තිබුණා.