ඒ.ජී. කරුණාරත්න, පදිංචි වෙලා උන්නේ මාතලේ ඕවිලිකන්දේ
ඒ.ජී. කරුණාරත්න, පදිංචි වෙලා උන්නේ මාතලේ ඕවිලිකන්දේ. චන්ද්‍රලතා රණසිංහ, කරුණාරත්නගේ බිරිද. මේ දෙන්නා විවාහවුණේ ආදර සම්බන්ධයකින්, ගෙදරින් අකමැති උනත් මේ දෙන්නා විවාහවෙලා පදිංචියට ගියේ ඕවිලිකන්ද ගමේ එක් කෙලවරක තියෙන රබල් කෑල්ල කියන පැත්තට.
මේ අලුත් පවුලට දරුවන් දෙදෙනෙක් ලැබුණා. කරුණාරත්න කුලීවැඩ කරමින්, පොඩියට වගාවක් කරගනිමින් තමයි පවුලේ බර ඇද්දේ. මෙහෙම ඉන්දැද්දී 1989.07.14 උදේ හමුදාව රබර් කෑල්ල වැටලුවා. මොකද ජවිපෙ ක්‍රියාකාරීන් ජීවිත ආරක්ෂාව පතා සැගවසිටි තැනක් තමයි මේ රබර් කෑල්ල කියන්නේ. කරුණාරත්නවත් එදා අරගෙන ගියා. දැන් අවුරුදු 36ක් වෙනවා. එයාගෙ බිරිද අදටත් මේ අහිමිවීම ගැන මතක් කරන්නේ වේදනාවෙන්.