ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදින් ඝාතනය: නිමලරාජන් මයිල්වාගනම් සිද්ධිය.
නිමලරාජන් මයිල්වාගනම්, නිර්භීත මාධ්‍යවේදියෙක්. යුද්ධයෙන් විනාශ වූ යාපනය අර්ධද්වීපයේ අස්සක් මුල්ලක් නෑර ඇවිද යමින් බීබීසී, දමිළ මෙන්ම සිංහල භාෂාවෙන්ද දශක දෙකක් පුරා පුවත්පත් වාර්තාකරණයේ යෙදුණා.
දිනය: 2000 ඔක්තොම්බර් 19.
හමුදාවෙන් ඇදිරි නීතිය දාලා තිබුණා, නිමලරාජන් හිටියේ එයාගෙ ගෙදර. ගෙදර තිබුණේ මේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණ ප්‍රදේශයක. ඒත් එදා රෑ නිමලරාජන් එයාගෙ ගේ ඇතුළෙම කුරිරු ලෙස මරාදමා තිබුණා.
2000 පාර්ලිමේන්තු මැතිවරණය:
මෙය ඉතිහාසයේ සලකුණු වී ඇත්තේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා, ජන්දදායකයින් බිය ගැන්වීම සහ ජන්ද මංකොල්ල කෑම ගජරාමයට සිදුවූ මැතිවරණයක් ලෙසයි. මේ සෑම නීති විරෝධි සිදුවීමක්ම වාගේ නිමලරාජන් නොපැකිලිව වාර්තා කළා. ඒ නිසාවෙන්ම නිමලරාජන් නම් මේ නිර්භීත මාධ්‍යවේදියා පසුපස ඝාතකයින් හබාගෙන ආවා. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අදටත් චෝදනා එල්ල වන්නේ උතුරේ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම්දැරූ ඊපීඩීපී පක්ෂයටයි. ඒ වනවිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ඩග්ලස් දේවානන්ද. ඔහු එවක රජයේ කැබිනට් ඇමතිවරයෙක්. මාධ්‍යවේදීන්ට සිය වෘතිමය නිදහස පවා අහිමි කළ යුගයක ඒ සියලු තර්ජන ගර්ජන මැද වුණත් නිමලරාජන් සිය මාධ්‍ය වාර්තාකරණය පසෙකට කළේ නැත. සිය ප්රකාශනය ලෝකයට මුදාහැරීම අත්හලේ නැත. සැබවින්ම ඔහු උතුරුකරයේ සිට වාරණ බිදිමින් ලෝකය අමතන තනි හඩක් සහිත මාධ්‍යවේදියෙක්.
ඔහුගේ ඝාතන සිද්ධිය පිළිබද සවිස්තර වාර්තාව සමග ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක්වූ තවත් මාධ්‍යවේදීන් 44 දෙනෙකුගේ මූලික තොරතුරු ඇතුළත් මෙම වාර්තාව 2025.09.08 දින අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වූවා. එහිදී එම මාධ්‍යවේදීන් ඇතුළු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්කළ සහ ඝාතනය කළ සියලුම ආදරණීයයන් ද, මේ සියලු සිද්ධීන්වල සත්‍ය හෙලිදරවු කරන කිරීමේ සහ කඩිනමින් යුක්තිය ඉටු කරීමේ අවශ්‍යතාව සහ වැදගත්කම ගැනද සාකච්ජා සභාවක් පැවැත්වූවා.
මෙම වාර්තාව සැකසීමේදි අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සමග REDRESS සහ ITJP යන මානව හිමිකම් සංවිධාන දෙකද සම දායකත්වය සැපයූවා.